ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (15) රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
එහිදී එරට වෙළෙඳ සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
පිලිපීන රජය 1961 ජනවාරි මස කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි.
1973 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව නියෝජනය කරමින් පිලිපීනයේ සංචාරයක නිරත වූවාය. ඊට පසුව ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගීවීමට නායකයන් කිහිප දෙනෙකු පිලිපීනයේ සංචාරය කළ ද පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධනාවක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත්රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප්රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.
සිය සංචාරය අරඹමින් අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ය.
ඉන් අනතුරුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇත.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබේ.
දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කිහිපයකට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.
සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිතුමා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
{jathumbnail off}