71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගන්වා ඇත.
බ්රීතාන්ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කර තිබේ.
එමෙන් ම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද මහ රැජිණ සිය බලවත් සතුට පළ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා ද 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන වැලැඩ්මිර් පුටින් මහතා ජනතා අභිලාෂයන් මල් පල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වන බවට ද විශ්වාසය පළ කර ඇත.
මේ අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
71 වන ජාතික දිනය සමරන සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර ඇත.
අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිඳෙන සබඳතාවයකි. සමීප සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී අන්‍යෝන්‍ය වශයෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බව ද ඉන්දීය ජනාධිපති රාම් නාද් කෝව්න් මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.