මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ත්රික් පරිසර සමුළුව අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.
පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවදානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සඳහන් කළේය.
දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමා ව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේ ය.
අද රක්ෂිත වනාන්තරවලට ඇතිවී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමු වරට තමා පසුගියදා තීරණයකට එළැඹියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කියා සිටියේය.
මෙම මාර්තු 01 වන දාට පෙර සෑම පුද්ගලයෙකුම සතුව තිබෙන විදුලි කියත් පිළිබඳ පොලිසිය දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය බව සඳහන් කළ ජනාධිපතිතුමා පොලීසිය මෙන් ම ග්‍රාමීය ව කටයුතු කරන සියලු ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.
අනවසරයෙන් මෙම විදුලි කියත් ළඟ තබාගතහොත් එම පුද්ලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම පිළිබඳ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම විදුලි කියත් මෙරටට ගෙන්වන වෙළඳ ආයතන සමග සාකච්ඡා කර ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳ තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.
මේ අතර අවිධිමත් කසළ කළමනාකරණය ද පරිසර විනාශ ඉහළ යාමට බලපා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළකට අදාළ ව රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධයන් බව ද පැවසීය.
නව තාක්ෂණය ඇසුරෙන් ක්‍රියාත්මක කෙරෙන කසළ කළමනාකරණ ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ ප්‍රමාණාත්මක අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම විරෝධතාවයන් මතුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා යම් ප්‍රදේශයක කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ නම් අතුරු නිෂ්පාදන රැසක් සමග කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රතිලාභ රැසක් ද ඒ තුළින් එම ප්‍රදේශයට හිමිවන බව පෙන්වා දුන්නේ ය.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර මල්වතු ඔය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නැවත කඩිනමින් ආරම්භ කරන බව ද පැවසීය.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ජනාධිපතිතුමා විසින් පැළයක් රෝපණය කරමින් අනුරාධපුර දිස්ත්රික් පරිසර වැඩසටහන ආරම්භ කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාරිසරික ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත් වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් වෙත පලතුරු පැළ බෙදාදීම සනිටුහන් කිරීම, අනුරාධපුර ඉපලෝගම, මානෑවකන්ද ආශ්‍රිත ගම්මානයේ මී පළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම, මධ්‍යම නුවරගම් පළාතේ පූජා නගරය ආශ්‍රිතව අවිධිමත් කසළ බැහැර කිරීම වැළැක්වීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාඩික්කගම ආදර්ශ ගම්මානයේ පළතුරු වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජල ටැංකි 5000 ක් බෙදාදීමේ ව්‍යාපෘතිය සනිටුහන් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එමෙන්ම පර්යේෂණ සහ නව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළෙමින් වැව් පද්ධති පවිත්‍ර කිරීම උදෙසා ජපන් ජබර ඉවත්කිරීමේ යන්ත්‍රය නිර්මාණය කළ ජාත්‍යන්තර සම්මානලාභී නව නිපැයුම්කරුවෙකු වන නාමල් උදාර පියසිරි මහතා ඇගැයීමට ලක් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පරිසර සමුළුවට සහභාගීවීම සඳහා අද පෙරවරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
අනුරාධපුර දිස්ත්රික් පරිසර සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව
2019-02-14 දින අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණය
මේ වැදගත් අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ප‍්‍රථමයෙන් සතුටට පත්වෙනවා. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පටන් ගෙන දැන් වසර 4ක් වෙනවා. මේ වසර 4 තුළ දීප ව්‍යාප්ත ව රටේ සියලු ක්ෂේත‍්‍ර ආවරණය කරමින් පාසල් දරුවන්, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ආදී ඒ සෑම කෙනෙක්ම එක්ව මේ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබෙනවා. අද මිනිස් වර්ගයා ප‍්‍රමුඛ සියලු සත්ත්වයාගේ අනාගතය ඉදිරියේ ඇති ප‍්‍රබලතම අභියෝගය වී තිබෙන්නේ පාරිසරික විනාශය යි. දේශගුණික විපර්යාස, කාලගුණ විපත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, දේශපාලනඥයින්ට හෝ විද්වතුන්ට ජයගත නොහැකි ආකාරයෙන්, පාලනය කළ නොහැකි ආකාරයෙන් බරපතළ ව්‍යසනයක් ලෙස ලොව පුරා සිදුවෙනවා. ලෝකයේ එක් එක් රටවල් එක් එක් විදියට මේ ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා.
ඔබ දකිනවා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, නියඟය ඔබටත් සියලු සතුන්ටත් ගහකොළටත් බරපතළ අභියෝගයක් වී තිබෙනවා. එය ජයගැනීම ලෙහෙසි නැහැ. නේපාලය වැනි රටක් ගත්විට අයිස් කඳු තිබෙනවා. අයිස් කඳු දිනපතා ගලා ගෙන ගිහින් මහා ගංගා බවට පත්වී බංග්ලාදේශය යට කරනවා. ඒ නිසා බංග්ලාදේශය සෑම වසරකම ගංවතුර තර්ජනයට මුහුණ දෙනවා. මෙවැනි විශේෂිත වූ කරුණු ලෝකයේ සෑම රටකම තිබෙනවා. අපේ රටෙත් එහෙමයි. ඉකුත් වසරේ නිකුත් වූ ජාත්‍යන්තර වාර්තාවලට අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආන්තික කාලගුණික විපත්වලින් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ‍්‍රී ලංකාව දෙවන තැනට පත් ව තිබෙනවා.
එහෙමනම් අපි සෑම කෙනෙක් ම අපගේ වගකීම ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපි අද මෙහි ආවේ පසුගිය කාලේ මේ වැඩසටහන දිස්ත‍්‍රික්ක රාශියක කරලා. ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ ව්‍යාපෘති රාශියක් දියත් කරනවා. එය ඔබ දැනටමත් දන්නවා ඇති. දරුවන් සුරකිමු, මත්ද්‍රව්‍ය මර්දනය, දේශීය ආහාර නිෂ්පාදනය, වකුගඩු රෝග නිවාරණය මේ කියන ව්‍යාපෘති අතර පරිසර සංරක්ෂණය සඳහා වූ විසඳුම් තිබෙන්නේ මා මත නොව ඔබ අතයි. මෙහි සිටින අපි සෑම කෙනෙකුටම මෙය තමන්ගේ ප‍්‍රශ්නයක්. දරුවන්ගේ හෙට දවස පිළිබඳ ප‍්‍රශ්නයක්. මෙය කිසිවෙකුට අත්හළ නොහැකි වගකීමක් සහ යුතුකමක්.
රජරට පළාතේ මේ පුරවරය ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම රුවන්වැලි මහා සෑ වහන්සේ වැඩ සිටිනවා. අනුරාධපුරය කියන්නේ පෙර රජ දවස සිට වසර 1000 කට වඩා දීර්ඝ රාජධානියක්. රජවරු සිය රාජ්‍යයත්වය සඳහා කාන්තාර තෝරා ගන්නේ නැහැ. රජවරු සිය රාජධානිය හැටියට ප‍්‍රදේශ විදියට තෝරා ගන්නේ සශ‍්‍රීක ප‍්‍රදේශ යි. අනෙක් රටවල්වලත් එහෙමයි. හොඳට ජලය, සතා සිව්පාවා, ගහ කොළ, ස්වාභාවික සම්පත්වලින් පිරි මිනිසුන්ට ජීවත් වෙන්න සැපදායක පරිසරයක් එදා අනුරාධපුරයේ තිබුණා. නමුත් අද තත්ත්වය කුමක්ද. පසුගිය වසර 04 කට ආසන්න කාලයක වසර තුනක් දැඩි නියඟය පැවතුණා. රටේ තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රදේශයකට නියඟය බලපෑවා. එහිදි එක් ප‍්‍රදේශයකට ගංවතුර අනෙක් ප‍්‍රදේශයට නියඟය. අනුරාධපුර දිස්ත‍්‍රික්කය බරපතළ ලෙස නියඟයෙන් පීඩා විඳි සහ පීඩාවිඳින ප‍්‍රදේශයක්.
පෙර රජ දවසේ තිබූ සශ‍්‍රීකත්වය විනාශ වූයේ ඇයි. මෙයට පිළිතුරු සෙවිය යුතුයි. දරුවෝ දන්නවා ඇති ඇමරිකාවේ සියැටෙල්ගේ කතාව. ඇළ, දොළ, ගංගා, සියල්ල විනාශ වූ විට අපේ භාෂාවෙන් කිව්වොත් මුදල්වලින් ජීවත්වෙන්න පුළුවන්ද කියලා ප‍්‍රශ්නය එනවා. අද අපේ රටේ පරිසර සංරක්ෂණයට තිබෙන ප‍්‍රබලතම අභියෝගය කුමක්ද. අද අපේ රටේ වන ඝනත්වය සියයට 28 යි. මේ උත්සවය ආරම්භ කළේ පැළ සිටුවලා. රාජ්‍ය පෞද්ගලික, ගොවි සංවිධාන විවිධ ක්ෂේත‍්‍රවලින් පැළ සිටුවීමේ ව්‍යාපෘති ලක්ෂ ගණන් ක‍්‍රියාත්මක වෙනවා. එයට ඔබේ සහය අවශ්‍යයි. වන ඝනත්වය සියයට 32 ක් දක්වා ඉහළ නැංවීම අපේ අරමුණයි. නමුත් අපිට තිබෙන අභියෝගය කුමක්ද. වන ඝනත්වය සෑම වසරකම සියයට 1.5 කින් අඩු වෙනවා. එහෙම වෙද්දී සියයට 28 ඉවර වෙන්න කොච්චර පොඩි කාලයක් ද යන්නේ. මම හිතනවා මෙහි සිටින සෑම කෙනෙකුගේම ජීවිත කාලය තුළ කාන්තාරයකට යන්න යනවා. ඒ විතරක් නෙවෙයි. දිල්ලි, ටෝකියේ, බීජින් නගරවල ඔක්සිජන් බෑගය කඩෙන් ගන්න තියෙනවා. ඒක දාගෙන තමා යන්නේ. ඉන්දියාවේ දිල්ලි නගරය සම්පූර්ණයෙන් දූවිලිවලින් වැහිලා. ඒක ඉන්දියන් රජයට ප‍්‍රබල ප‍්‍රශ්නයක්. කර්මාන්ත ශාලාවලින් පිටවන කාබන් සම්බන්ධයෙන් පැහැදිලි පරිසර ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොකර සිටීමයි එයට හේතුව. ඉහළම දියුණුවක් තිබෙන බීජිං වැනි නගරවලත් එහෙමයි. එවැනි තවත් රටවල් ගණනාවක් තිබෙනවා.
අද අපේ රටේ පරිසර දූෂණය ඉහළින්ම සිදුවන දූෂිතම ස්ථාන ලෙස විද්‍යාඥයින් හඳුන්වන්නේ කොළඹ නගරයේ කොටුව සහ මරදාන ප‍්‍රදේශය. ඊළඟට මහනුවර නගරය. මහනුවර නගරය කඳුවලින් වටවෙලා තියෙන්නේ. සංවෘත නගරයක්. එබැවින් එහි බරපතළ කාබන් දහනයත් සමග විශාල පාරිසරික අභියෝගයකට මුහුණ දෙනවා. අනුරාධපුර පළමු රාජධානිය වගේම එහි තමයි ලෝකයේ ප‍්‍රථම අභය භූමියත් පිහිටා තිබෙන්නේ. එහෙමනම් මොනතරම් සුන්දරත්වයක්, මොනතරම් පාරිසරික සංරක්ෂණයක් එදා මෙහි තිබෙන්නට ඇත්ද. ඒ තත්ත්වය අද ඇතිකර ගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දෙන නිසා තමයි ජනාධිපතිවරයා විදියට මම නගරයක් ගමක් පාසා මේ විදියට යන්නේ. අපේ නිලධාරී මහත්වරු, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා හරහා පාසල් දරුවන්ට මේ පිළිබඳ පුළුල් අවබෝධයක් දෙනවා වගේ ම පරිසර සංරක්ෂණයට ඔවුන්ගේ අනුග‍්‍රහය හා දායකත්වය ලබාගෙන මේ වැඩසටහන් ක‍්‍රියාත්මක වෙනවා.
මෙහිදී ඔබ දැක්කා තිරයේ පෙන්වූ දර්ශන. ඒ තුළ ඔබ දැනුවත් වුණා. අනුරාධපුර දිස්ත‍්‍රික්කය මුහුණ දෙන ප‍්‍රධාන අභියෝග මොනවාද පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන්. මේ ප‍්‍රදේශයේ මිනිසුන් සහ සතුන් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් තමයි වන සත්ත්ව හානි. සතුන් විනාශ කිරීම. අනෙක නම් අවිධිමත් කසළ කළමනාකරණය. කසළ කළමනාකරණය අයිති වෙන්නේ පළාත් සභාවට. කසළ කළමනාකරණය පිළිබඳ නිසි වැඩසටහන් අපේ රටේ ඉතාමත් අවමයි. සියයට 30 ක් විතර තමයි එහි සාර්ථකත්වය. කොළඹ නගරය ප‍්‍රමුඛ බොහෝ ප‍්‍රදේශවල එය නිසි ලෙස ඉටුවෙන්නේ නැහැ. අද කසළ කළමනාකරණයේ දී මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ දී කසළ කොහේ ගෙනියන්න හැදුවත් ජනතා විරෝධය එල්ල වෙනවා. ස්වාමීන් වහන්සේලා අනෙකුත් ආගමික නායකයින් කෑ ගහනවා මෙහෙ ගේන්න එපා කියලා. එය සිදුවන්නේ විද්‍යාත්මක අවබෝධයේ අඩුකමක් විදියට කියලයි මා දකින්නේ. මොකද අද තාක්ෂණය එක්ක කසළ කළමනාකරණය කරන්නේ නව තාක්ෂණික ක‍්‍රියාකාරකම් සමගයි. අලුත් යන්ත‍්‍ර සූත‍්‍ර සමගයි. ඒ නිසා කසළ යම් ප‍්‍රදේශයකට ගිහින් දැමුවයි කියලා එයින් එන දුර්ගන්ධය හෝ අයහපතක් ඒ ප‍්‍රදේශයට සිදුවන්නේ නැහැ. කසළ කළමනාකරණයට අදාළ ව්‍යාපෘති යම් කිසි ප‍්‍රදේශයක තියෙනවා නම් ඒක ඒ ප‍්‍රදේශවලට හොඳයි. හොඳයි කියන්නේ එයින් කාබනික පොහොර නිෂ්පාදනය වෙනවා. අතුරු නිෂ්පාදන රාශියක් ඒ තුළ තිබෙනවා. එය කෘෂිකර්මාන්තය ප‍්‍රමුඛ විවිධ ක්ෂේත‍්‍රවලට ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනෙක් කාරණය තමයි රක්ෂිත වනාන්තරවලට තිබෙන බරපතළ තර්ජන. මේක මුළු රට පුරාම තිබෙන ප‍්‍රබලතම ප‍්‍රශ්නයක්.
දැන් පසුගිය සතියේ ඔබ මාධ්‍ය තුළ අසන්නට ඇති විදුලි කියත් භාවිතය සීමා කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් මම තීන්දුවක් ගත්තා. ලෝකයේ බොහෝ රටවල විදුලි කියත් වලින් ලී ඉරන්න තහනම්. ඒ රටවලට මේවා ගේන්නත් බැහැ. රටේ නිෂ්පාදනය කරන්නත් බැහැ. නමුත් අපේ රටේ මේක කිසිම කාලයක කිසිම ආණ්ඩුවක් විසින් බලලා නැහැ. අපි වනාන්තර ආරක්ෂා කරන්න කතාකරනවා. වන ජාවාරම්කාරයෝ, ව්‍යාපාරිකයෝ, සමහර වෙලාවට ගසක් කපන්න බලපත‍්‍රයක් අරගෙන ගස් 10 ක් පමණ කපනවා. ඒ නිසා මාර්තු පළමුවැනිදා වෙනකල් කාලය දීලා තිබෙනවා විදුලි කියත් එහෙම නැත්නම් දම්වැල් කියත් පොලිසියේ ලියාපදිංචි කරන්න කියලා. මේ වනවිට චක‍්‍රලේඛ ඇවිල්ලා නැත්නම් අද හෙට චක‍්‍රලේඛ එයි. පළමුවැනි දා වනවිට ලංකාවේ සෑම කෙනෙක්ම, ව්‍යාපාරයේ හෝ නිවසේ තිබෙන විදුලි කියත් පිළිබඳ පොලිසිය දැනුවත් කළ යුතුයි. ඒත් එක්කම පළමු වැනිදායින් පස්සේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් බලපත‍්‍රයක් ගන්න ඕන. ඒ බලපත‍්‍රය ගතයුතුමයි. විශේෂයෙන්ම මෙහිදි පොලිසියේ නිලධාරීන් වගේම ප‍්‍රදේශයේ කටයුතු කරන ග‍්‍රාම නිලධාරී මහත්වරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමන්ගේ ප‍්‍රදේශය තුළ විදුලි කියත්, දම්වැල් කියත් පිළිබඳ සොයා බලන්න, තොරතුරු ලබාගන්න, ඔවුන්ට බලපත‍්‍ර ලබාගන්න දැනුවත් කරන්න. බලපත‍්‍ර නැත්නම් දැඩි දඬුවම්, නීතිය ක‍්‍රියාත්මක කරනවා. දැඩි දඬුවම් ලබාදෙන්න අලුත් රෙගුලාසිත් සමගින් ගැසට් නිවේදනයක් එනවා.
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලංකාවට මේවා ගෙන්වන වෙළෙඳ සමාගම් එක්ක කතාකරන්න. මම ඒ අයට එන්න කියලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගෙන්වන එක නවත්වන්න. නැත්නම් අපිට ගහක් තියාගන්න වෙන්නේ නැහැ. වන ජාවාරම්කාරයින් වගේම ඒ ජාවාරම් සඳහා නීතිවිරෝධී ලෙස බලපත‍්‍ර අරගන්න එක බරපතළ හානියක්. ඒ නිසා මේ කෙරෙහි ඔබ සෑම කෙනෙක්ගේ ම අවධානය යොමුකරනවා. පාසල් දරුවන් හා දෙමාපියන් වුණත් බලන්න තමන්ගේ ගමේ තිබෙනවා නම් මේ වගේ විදුලි කියත්, දම්වැල් කියත් පොලිසියට කියන්න එතකොට එයාලා ගහක් කපනවා නම් අවසර අරන් තියෙන්න ඕන. මගේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම මේ මැෂින් නවත්වන්නයි, නමුත් සමහරුන්ගේ ව්‍යාපාරවල තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එකපාරට තහනම් කරන්න හොඳ නැහැ. නමුත් මේ පිළිබඳ දැඩි නීතිමය ක‍්‍රියාමාර්ගයකට යෑම අවශ්‍ය වෙලා තිබෙනවා.
එතකොට අනෙක් පැත්තෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අවිධිමත් කැණීම් විශාල වශයෙන් සිදුවෙනවා. මට හුඟක් අය දොස් කියනවා සංවර්ධනයට පාරවල් හදන්න පස් දෙන්නේ නැහැ, වැලි දෙන්නේ නැහැ, ගල් ගන්න දෙන්නේ නැහැ කියලා. මම ජනාධිපති විදියට පත්වෙලා අමාත්‍යාංශ තෝරාගැනීමේ දී පරිසර අමාත්‍යාංශය තෝරාගත්තේ එදා වනවිට දේශපාලන මැදිහත්වීම් තුළින් පරිසර විනාශය බරපතළ අයුරින් තිබුණ නිසා. ඒ නිසා මේ විෂය මම ගත්තේ තද නීති රීති පැනවීමේ අවශ්‍යතාවය මතයි.
ජලාශ දූෂණය වීම අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඉතාමත්ම ප‍්‍රබලයි. ඒ වගේම පාංශූ ඛාදනය, පස සෝදාගෙන යාම, එතකොට ගල්, වැලි, පස් මේවා ජාවාරම්. සංවර්ධනයට අවශ්‍ය දේ සැපයීම සඳහා සැලසුම් තිබෙනවා. පස් කපන්න බලපත‍්‍රයක් ගත්තොත්, දීලා තිබෙන ප‍්‍රමාණයට වඩා කපනවා. මෙතැන සිටිනවා පරිසර නිලධාරීන්. වන සංරක්ෂණය කියන්නේ ප‍්‍රධාන වගකීමක්. මේ කරන පාරසරික විනාශයේ දී මේ දිස්ත‍්‍රික්කයේ සිටින මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් මේ ගැන පැහැදිලි ලෙසම සොයාබැලීම කළ යුතුයි. අවසර දෙන්නේ කුමන ආයතනයකින් වුවත් අදාළ ආයතන සියල්ලක් ම මෙහි වගකීම ගන්න ඕන. මේ රටේ වෙලා තිබෙන්නේ වැලි, ගල්, පස් කැණීම් කරන්න දෙනවා. ඒ පිළිබඳව පසුවිපරමක් නැහැ. ඒවා ගන්න ඕන ප‍්‍රමාණයන් මෙපමණයි කියලා සීමා කරනවා. නමුත් බලපත‍්‍රය ගන්න කෙනා සිය දහස් ගණනක් පස්, වැලි, ගල් ජාවාරම් කරනවා.
මේ තත්ත්වය දැඩි ලෙස සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍යයි. මේ දිස්ත‍්‍රික්කය තුළ තිබෙන වැඩකටයුතු, පහසුකම්වල යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. පසුගිය දිනවල දුමින්ද දිසානායක මැතිතුමා පටන් ගත්තා මල්වතු ඔය පිරිසිදු කරලා සකස් කිරීම. මට දැනගන්න ලැබුණා ඊයේ පෙරේදා ඒවා නැවතිලා කියලා. නමුත් මම මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා කලින් වැඩකරගෙන ගිය නාවික හමුදාවටම ඒ කටයුතු බාරදෙන්න කටයුතු කරනවා.
දැන් පරිසරය විනාශ වීමේ ප‍්‍රතිඵලය අනුරාධපුරයේ දීර්ඝ නියඟය. නියඟය සමග එන අනෙක් වචනය කුමක්ද? දුප්පත්කම. ගහකොළ, ඇළදොළ, සතා සීපාවා විනාශ කිරීමෙන් පසුව කාන්තාර තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා පරිසර සංරක්ෂණයේ වැදගත්කම මූලික වශයෙන්ම අපි කතාකරනවා, වායු ගෝලයේ තිබෙන වෙනස්කම් පිළිබඳව. ගෝලීය උෂ්ණත්වය, වාතය, පිළිබඳව. ඒ එක පැත්තක්. නමුත් ඉතාම සෘජුවම පරිසර විනාශය නිසා දුප්පත්කම වැඩිවෙනවා. ඇයි නියගය නිසා ගොවිතැන් කරන්න බැහැ. ආහාර නිෂ්පාදනය නැහැ. මේක දීර්ඝ කතාවක් මම ඒ ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහි සිටින අය මේ පිළිබඳ වඩාත් දැනුවත්. ඒ වගේම සෑම පොලීසියකම ඒකකයක් තිබෙනවා පරිසර පොලිසිය. මම අර කලින් කිව්ව කාරණය විදුලි කියත් පිළිබඳව. පරිසර පොලිසියත් විමසිලිමත් වන්න. මේ මැෂින්වලට වනාන්තරය විනාශ කරන්න දෙන්න පුළුවන්කමක් නැහැ.
පරිසර සංරක්ෂණයේ වැදගත්කම විෂයයක් විදියට ඔබ දන්නවා. නමුත් ප‍්‍රශ්නය ප‍්‍රායෝගිකව භාවිතයේ නැහැ. හරියට සිගරට් අරක්කු වගේ තමයි. හැමෝම දන්නවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්න හොඳ නැහැ කියලා. දැන දැන භාවිතා කරනවා. ඒ වගේම තමයි පරිසර සංරක්ෂණයත්. මට ආරංචි වුණා ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී අත්අඩංගුවට අරන් තිබුණා කියලා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වගේම නොච්චියාගම පොලිසියට, වැටලීම් කළ නිලධාරීන්ට මා විශේෂ ස්තුතිය පිරිනමනවා. දැන් බලන්න ජනාධිපති ආරක්ෂක අංශයටත් මේක ඇතුළුවෙලා. ජනාධිපති ආරක්ෂක අංශයේ වාහනයක් නවත්තපුවාම හැඳුනුම්පත ලබාදුන්නාම ජනාධිපති ආරක්ෂක අංශයේ කියලා යන්න කියනවා. වාහනය පරීක්ෂා කරලා බලන්නේ නැහැ. නමුත් පසුගිය දා අහුවුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහුගේ බිරිඳත් පොලිස් පරීක්ෂකවරියක්. මේවායේ දී තනතුර, පදවිය පිළිබඳ සලකන්නට එපා. කවුරුන් හෝ වැරදි සිදුකරනවා නම් ඒවාට නීතිය තදින් ක‍්‍රියාත්මක වියයුතුයි.
මේ ගෞරවනීය වැඩසටහනට සහභාගී වූ ඔබ අතරේ පාසල් දරුවෝ 800ක ට වැඩිය ඉන්නවා. ඒ වගේම දේශපාලන අධිකාරියේ බොහෝ අය ඉන්නවා. රජයේ ආයතන ප‍්‍රධානීන් ඉන්නවා. පරිසර සංවිධාන රාශියක් තිබෙනවා. මෙතැන බොහෝ පිරිසක් සිටිනවා. එතකොට ඔබ සෑම කෙනෙක්ට ම මෙම අවස්ථාවට ආරාධනා කළේ ඇයි? මේ දිස්ත‍්‍රික්කයේ ජනගහනය මම හිතන්නේ ලක්ෂ 10ක ට කිට්ටුයි. ඒ පිරිස නියෝජනය කරන්නේ ඔබයි. සියලුම පිරිස එක තැනකට ගිහින් මේක කතාකරලා වැඩකුත් නැහැ. නමුත් වගකිවයුතු ඔබව මෙතැනට ගෙන්වා තිබෙනවා. මේ වගකීම හිතට ගන්න. පරිසර සංරක්ෂණය කියන්නේ ජනාධිපතිවරයෙකුගේ පුද්ගලික කාරණයක් නොවේ. මේක දේශපාලන කාර්යයක් නොවේ. ඔබේ හෙට දවසේ ජීවත්වීම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක්. පරිසරය විනාශ කිරීමේන් සිදුවන්නේ දුගීභාවය ඇතිවීමයි. ඒ නිසා අපි මේ වැදගත් කාර්යේ දී ඔබ සෑම කෙනෙකුගේ ම සහයෝගය ඉල්ලා සිටිනවා. පාසල් දරුවන්, පාසල් නියමු වැඩසටහන්වල සිටින දරුවන් අපි නිරන්තරයෙන් දිරිමත් කරනවා. පාසල් දරුවා තමයි හොඳම පණිවුඩකරුවා සමාජයට නිවැරදි පාඩම් කියාදෙන. පිරිසිදු චේතනාවෙන්, පිරිසිදු සිතින්. දරුවෙක් කියන දෙයක් දෙමාපියන් හා සමාජය අහනවා. මේ සියලු දෙනාම මෙහි වගකීම භාරගන්න. ලෝකයේ පරිසරය පිළිබඳ දේශනා කළ මහා පරිසරවේදියාණෝ බුදුන් වහන්සේ බව ඔබ දන්නවා. බුදුන් වහන්සේගේ ධර්මය තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ උන්වහන්සේගේ බොහෝ දේ සඳහන් වෙනවා. අනෙක් ආගමික නායකයන් ගේ දර්ශනය තුළ ද පරිසර සංරක්ෂණය පිළිබඳ සදහන් වෙනවා. ඒ අනුව ඔබ ඔබේ වගකීම් ඉටුකරමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපවන ලෙසට ඉල්ලා සිටිනවා.