ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන්ගේ යුතුකම හා වගකීමයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ මාධ්‍ය නිසයි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තිබිය යුතුයයි'' ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ අද (25) උදේ වැඩ භාර ගැනීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී මේ බව පැවසීය.
තමාට අභියෝගයක් වූ මෙම අමාත්‍ය ධූරය භාරගන්නේ මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යවලට සේවයක් කිරීමට බවත් ඇමතිවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
එසේම සිය වෘත්තිය තුළ අභිමානයක් ගොඩනගාගත හැකි වාතාවරණයක් ජනමාධ්‍යවේදීන් උදාකර දීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තමා බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා: මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ගමන් මාධ්‍ය සදාචාරය ගැනත් බැලිය යුතුයි. මේ රටේ මාධ්‍ය සදාචාරය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ගැනත් සමාජ මාධ්‍ය පිළිබඳවත් අපේ අවධානය යොමුකරන්න ඕන.
මේ රටේ ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන් හැටියට අපේ යුතුකමක් හා වගකීමක්. මාධ්‍යවේදීන්ගේ වගකීම ජනතාව දැනුවත් කිරීමයි. එවැනි දේවල් වලට අපි මැදිහත් වියයුතුයි.
මාධ්‍ය මගින් ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ හැකියි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තියෙන්න ඕන. ඒ සඳහා සම්පූර්ණ සහාය දීමට අමාත්‍යාංශයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස අමාත්‍යාංශයේත් ඒ යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් ගෙනුත් සෙසු කාර්ය මණ්ඩල වලිනුත් මා ඉල්ලා සිටිනවා.‍
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී.හැරිසන්,කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි.පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන්ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන) රමණි ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්ම මහත්මීන්ද, අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රධානීහුද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

 IMG 0154

IMG 0164

IMG 0188