මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

වසර 1989 දී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්, මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේය.
“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා“ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.
ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.
මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවෙල්, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළ කතාව -
මුදල් ඇමැති මංගල සමරවීර මහතා හිත හොඳ මිනිසෙක්. බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ඔහු බාරගත් ඕනෑම විෂයක වගකීම නිවැරැදිව ඉටුකර තිබෙන බවද, මංගල සමරවීර මහතා දක්ෂයෙක් මෙන්ම කැපවීමෙන් ඕනෑම කටයුත්තක් කරන පුද්ගලයකු බව ද ඔහුගේ දක්ෂතාව, හැකියාව, බුද්ධිය, පරිනත බව රටට අවශ්‍ය වී තිබෙන බව ද ඒ මහතා පෙන්වාදෙයි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමා සමඟ මුල් කාලයේ දී එකට පාර්ලිමේන්තුවට පැමිණි මිත්‍රයකු ලෙස වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා හඳුන්වා දියහැකි බවත් ඔහු කිසිවකුටත් කඩේ නොගිය කෙනෙක් බවත්ය.
ගෙවී ගිය 30 වසරට වඩා රටට ප්‍රතිඵල පෙන්විය හැකි මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යාහැකි සැබෑ මානවවාදී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, ජාතික සමඟිය හා සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යයේ වගකීම ඉටුකරන්න හැකිවේවායි සුබපතන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සිදු කළ කතාව -
නිදහස් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී සහ දියුණු ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ මූලධර්මය තුළ සිට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කටයුතු කරන දේශපාලනඥයෙක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට ගමන් කරනවිට මංගල සමරවීර මහතාගේ සහාය හැමවිටම තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා අපේ සිහිනය ද එය බව ද එම සිහිනය ඉටුකර ගැනීමේ අභියෝගය බියෙන් සැකයෙන් තොරව බාරගෙන ඉදිරියට යායුතු බව ද පෙන්වාදෙයි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට පැමිණි මුල්කාලයේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ද තමා එක්සත් ජාතික පක්ෂයේ සිටි බවත් මංගල සමරවීර මහතා තමාට විරුද්ධ විවේචනයේ මුල්තැන ගත් කෙනෙක් බවත්ය. ඒ මහතා යම්කිසි මූලධර්මයකට අනුව වැඩකළ බව පෙන්වාදුන් ඒ මහතා නිදහස් සමාජයක, නිදහස් වාතාවරණයක, නිදහස් ආර්ථිකයක මූලධර්මය සමඟ සිටි බව ද එම මූලධර්මවලින් එක්සත් ජාතික පක්ෂය කිසිදා වෙනස් නොවූ බව ද සිහිපත් කළේය.
රටේ සංහිඳියාව, ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් සහ දේශප්‍රේමීභාවය වෙනුවෙන් අප එක් ස්ථාවරයක සිට වැඩකළ බව පෙන්වාදුන් අගමැතිවරයා 2015 වසරේ දී යලිත් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි පසුව මංගල සමරවීර මහතා අපේ රටේ ගෞරවය ස්ථාපනය කරන්න, පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙන බව ද පැවැසීය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් සිදු කළ කතාව -
රටේ තිරසාර සංවර්ධනය සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් වසර 30ක් පුරා තමන් විසින් සිහින දකින බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. උපන් මාතෘභූමිය වෙනුවෙන් මෙලෙස සිහින දකින බව පෙන්වාදෙන ඒ මහතා ජාතිය, ආගම නොව සාමය වෙනුවෙන් සිහිනයක් තිබුණු බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගතයුතු බව ද කියා සිටී.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ සිංහල ගම්මානවලට දේශපාලන විසඳුමක අවශ්‍යතාව හඳුන්වා දෙන්න අවශ්‍ය වූ බවත් සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවූ බවත්ය.
තම වටිනාකම් හඳුනාගත් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින බව පැවසූ මුදල් ඇමැතිවරයා දේදුනු විප්ලවය හඳුන්වා දෙමින් රටට අවශ්‍ය අරමුණු රැසක් ඉටුකර ගන්න පියවර ගත් බව ද පසුගිය වසර හතරක කාලයේ දී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තිබෙන බව ද පෙන්වා දුන්නේය.