එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමයෙන් ණය මුදල් ලබාගැනීමේදී පැන නඟින ගැටලු විසඳාලීමට මැතිවරණ කොට්ඨාස මට්ටමින් ජංගම සේවා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කොට ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් බැංකු ණය ලබාගැනීමේදී ජනතාවට විවිධ බාධක හා ගැටලුවලට මුහුණදීමට සිදුවී ඇතැයි නැ‍ඟෙන හඬට විසඳුමක් ලෙස මේ ජංගම‍ සේවා වැඩපිළිවෙළ ආරම්භ කිරීමට තීරණය කළ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
බැංකු ණය ලබාගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවෝ මුහුණදෙන ප්‍රශ්න අතුරින් ඇපකරුවන් ඉදිරිපත් කිරීම, වෙළෙඳපොළ මගින් ලබාදීම, විවිධ බලපත්‍ර හා නීතිමය අවශ්‍යතා සපුරාලීම ප්‍රධාන වේ. මේ පුංචි පුංචි ප්‍රශ්න නිසා බැංකු ණය ලබාගැනීම ප්‍රමාද වී තිබේ. මේ ප්‍රමාදයන් අවම කොට කඩිනමින් ණය මුදල් ජනතාව වෙත මුදාහැර ව්‍යාපාර දියුණු කිරීම රජයේ දැක්ම බව මුදල් ඇමැතිවරයා කීය.
ඒ අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් පවත්වන ජංගම සේවා වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ කොට්ඨාසයේ මේ මස 16 හා 17 දින දෙකේදී සිදුකරනු ලැබේ.
මේ ජංගම සේවා වැඩපිළිවෙළ මැතිවරණ කොට්ඨාස සෑම එකකම පවත්වා කඩිනමින් ජනතා ගැටලු විසඳාලීමට සියලු බැංකු ආයතන, රජයේ ආයතන කැමැත්ත පළ කොට තිබේ.
මීට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳව යම් ගැටලුවක් ඇතිනම් දුරකථන අංක 1925 අමතා දැනුම් දිය හැකිය.