වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා නිල වශයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ගරු ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් 2019 මාර්තු මස 15 දින පෙරවරු 10.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
විසිඑක් වන සියවසේ අභියෝගයට මුහුණදෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සදහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල , උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව පාඨමාලා හැදෑරිය හැක.
ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් මාධ්‍යවේදීන් වෙනුවෙන් ආපසු නොගෙවන පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම “ඇසිදිසි”ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධි හා පශ්චාද් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබා දෙන ලද රු.100,000.00 ක මුදල මෙවර රු. 200,000.00 දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි. මෙහිදී ජනමාධ්‍යවේදීන් 109 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.