ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය ගෞරවය අපේක්ෂා කළ හැකි වන්නේ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති "ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව" ප්‍රදානය කිරීමේ උළෙල අමතමින් ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා,

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩභාර ගැනීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ මා සහභාගී වන පළමු නිල උත්සවය ජනමාධ්‍යවේදීන් උදෙසාම වූ උළෙලක් වීම, මා පෞද්ගලිකව අතිශය සතුටුවන කාරණාවක්. ජනමාධ්‍යවේදියාගේ භූමිකාව තුළ සුවිශේෂිතවූ සමාජ වගකීමක් නිරායාසයෙන්ම ඔහු හෝ ඇය වෙත පැවරී තිබෙනවා. ජනමාධ්‍ය යනු කලාවක්. ඒ නිසා එම ක්ෂේත්‍රයෙහි නිරතවී සිටින ජනමාධ්‍යවේදියෝ යනු එක්තරා කලාකරුවන් කොට්ඨාසයක්. කලාකරුවා එක් අතකින් දාර්ශනිකයි. ඒ වගේම සංවේදියි. නමුත් අනාගතය ගැන ඉතාමත් සවිඥානිකයි. ඒ අර්ථයෙන් මම ජනමාධ්‍යවේදියා කලාකරුවෙක් ලෙස හදුන්වා දෙන්න කැමතියි.

අද අපි ජීවත්වන සමාජය තොරතුරුවලින් පිරුණු සමාජයක්. ජනමාධ්‍යවේදියා තොරතුරු සමාජගත කරනවා. සේවා තොරතුරු එක් එක් දෘෂ්ටිවාදයන් තුළ හා මාධ්‍ය අධිකාරීත්ව බලපෑම මත ප්‍රතිනිර්මාණය කිරීමක් හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමක් තුළින් සමාජගත කිරීමක් සිදුකරනවා. එය ඉතාමත් භාරදූර්ය වගකීමක් මෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මමත් මගේ ජීවිතේ එක්තරා අවධියක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම මම ඉපදුනෙත් මාධ්‍යයට බොහෝ සම්බන්ධ පවුලක. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සමාජයට ඉතාමත් හරවත් ගෞරවාන්විත සේවාවක් ඉටුකළ බොහෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මම කුඩා කළ සිට ඇසුරු කරලා තිබෙනවා. ඔවුන් සමාජයට අමිල මාධ්‍ය මෙහෙවරක් ඉටු කළා. නමුත් ඒ බොහෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික ජීවිතය ඉතා අපිළිවෙලකින් යුත් ඛේදාන්තයක් බවට පත්වෙලා තිබුණා. එයට මා දකින සුවිශේෂිත හේතුව වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වී නොතිබීමයි.

 වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීමෙන් පමණයි ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය ගෞරවය අපේක්ෂා කළ හැකි වන්නේ. ඒ තුළින් පමණයි ජනමාධ්‍යවේදියාට සමාජමය, ආර්ථිකමය වටිනාකමක් ගොඩනැගෙන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” මඟින් ජනමාධ්‍යවේදියා දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කරන්නට පුළුවන්. ඒවාගේම විසිඑක්වන සියවසට ගැලපෙන මාධ්‍යවේදියෙක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නූතන දැනුම, තාක්ෂණය, ආකල්ප උසස් අධ්‍යාපනයක නිරතවීමෙන් අප කාටත් ළඟා කරගත හැකියි.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල දීර්ඝ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කල මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ ලක්ෂ දෙකක මුදලක් මෙම වර්ෂයේ සිට ලබා දීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. ඒවාගේම කෙටි කාලීන හෝ දිගුකාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ශිෂ්‍යත්ව මුදල් ලබා දෙනවා. ඒ අනුව අද දිනයේ මාධ්‍යවේදීන් 109 දෙනෙකු “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව” ප්‍රදානයට තෝරාගෙන තිබෙනවා. එලෙස තෝරා ගනු ලැබූ සියළු මාධ්‍යවේදීන් වෙත තමන්ගේ උසස්  අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම  සංහතිකයන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය නැංවීමද රජයේ වගකීමක් ලෙස මා සිතනවා.

අද උසස් පෙළ විෂය ධාරාවට මාධ්‍ය විෂයක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ තුළින් මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති දුවා දරුවන් රටට නිර්මාණය වනවා. ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ යනවාට සාපේක්ෂව ජනමාධ්‍යවේදියගේ මාධ්‍ය සාක්ෂරතාව දැනුම, කුසලතා, ආකල්ප ඉහළ යායුතුයි.

ඉතින් “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්වය ජනමාධ්‍යවේදීන් වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ලැබෙන අති විශිෂ්ඨ තිළිණයක් සේම යුගයේ මහා සමාජ වගකීමක් ඉටුකිරීමක් වෙනවා. මීළඟ පියවරේදී මීටත් වඩා ශිෂ්‍යත්වලාභීන් පිරිසක් රටට දායාද කරමින් උසස් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහිකරන්න මම බලාපොරොත්තු වෙනවා. සමාජ වගකීම් හඳුනාගත් මාධ්‍ය ආචාර් ධර්ම ගරුකොටගත් උගත්, දැනුමෙන්, සන්නද්ධ, කුසලතාවයන්ගෙන් පිරි මාධ්‍යවේදීන් 109 දෙනෙකුගේ ලස්සන අනාගතයකට නැවතත් සුභ පතනවා.

රටට අවශ්‍ය වන වෘත්තීය ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීම “ඇසි දිසි ශිෂ්‍යත්ව”වැඩසටහනේ අරමුණ බව මෙම උත්සවයේදී පිළිගැනීමේ කතාව කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා,

2006 සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ අද දිනයේදී ජනමාධ්‍යවේදීන් 109 දෙනෙක් ශිෂ්‍යත්ව ලබාගන්නව.එයින් 78 දෙනෙක්ම උපාධි පාඨමාලා සහ ඉහළ උපාධි මට්ට්ම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාගැනීම විශේෂත්වයක් වෙනව. මෙම ශිෂ්‍යත්වලාභීන් රාජ්‍ය අංශය වගේම පුද්ගලික අංශත් නියෝජනය කරනව. එනිසා අද දිනය අපිට සුවිශේෂී දිනයක්.

වර්තමානයේ ජනතාව හැමදෙයක් දිහාම බලන්නේ විවේචනාත්මක ස්වරූපයෙන් බැවින් වෘත්තීය ජනමාධ්‍යවේදීන් රටට අවශ්‍ය වී තිබෙනවා.අප රටේ ගවේෂණාත්මක,නිර්මාණාත්මක ජනමාධ්‍යවේදීන් පිරිසක් සිටිනවා.වර්තමානයේ තාක්ෂණය ඉතා දියුණු බැවින් ඔබ කරන කාර්යය ගවේෂණාත්මක මෙන්ම නිර්මාණාත්මක විය යුතුයි.

ජනතාවගේ බදු මුදලින් කරන්නා වූ සියළු දෙයක් පිළිබඳවම දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙනව.ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට වගකීමක් තිබෙනව නිවැරදි තොරතුරු ජනතාව අතරට ගෙන  යාමට.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනව වසර දෙකකට පසු ඔබගේ පාඨමාලාව අවසන් වීමෙන් පසුව ඔබ කරන්නා වූ නිබන්ධනයේ,පර්යේෂණ කෘතියේ  පිටපතක් වෘත්තීයමය ජනමාධ්‍යවේදී කලාවක්  වෙනුවෙන් අනාගතයේ අන් අයගේ අධ්‍යයනය වෙනුවෙන් අප අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අවසන් වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිනව.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ,ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

Media Minister Ruwan Wijewardane

secretary Sunil Samaraweera 

 YAM5190

 

 YAM5189

  YAM5196

 

crowd