කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟ වෙති.

කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සුහද කතා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
අතිශය සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත මෙන්ම වර්මානයේ එක හා සමාන අභියෝගයන්ට මුහුණ දී ඇති රටවල්වන කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවන් රැසක් පවතින අතර දෙරටේම ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතුවල දී සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වූ අතර කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය සහ තාක්ෂණික දැනුම ලබාදෙන ලෙසට කෙන්යා ජනාධිපතිතුමා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමට ජනාධිපතිතුමාගේ එකඟතාවය පළ කෙරිණි.
1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ :ෂධඍ්* සාමාජික රටවල් වෙති.
රටවල් දෙක අතර මෙන්ම ජත්‍යන්තර තලයේ දී ද සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී නායකයෝ එකඟ වූහ.
කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළෙඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.
මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල නිරත වෙති. ඔවුන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය.