ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, ඉදිරි වසර 05 තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කරමින්, රටට නව ආදායම් මාර්ග සහ නව විදේශ ආදායම් මාර්ග ඇති කිරීම සඳහා අවශ්‍ය සේවාවන් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබාගැනීමේ ජාතික වැඩපිළිවෙළ පෙරේදා (16) දින බත්තරමුල්ල රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලයේදී ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

ජනතා සේවය වඩාත් පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීම රජයේ අරමුණ බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව අද සිට රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලූ ලිපි හා සහතික අනවශ්‍ය මුදල් ගෙවීම්වලින් තොරව ඉතා පහසුවෙන් හා ක්ෂණිකව ලබාගැනීමට අවස්ථාව උදාවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසීය.