ශ්‍රී ලංකාවත් කෙන්යාවත් අතර ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් සහ දෙරට අතර නව සහයෝගීතා ගමනකට මුල පුරමින් සිය කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (17) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට කෙන්යා ජනාධිිපති උහුරු කෙන්යාටා මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා පසුගිය 13 වනදා කෙන්යා නිල සංචාරය ආරම්භ කළේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩි්ර රජොයිලිනා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්තු 14 වන දා නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී ජගත් පරිසර සමුළුව ආරම්භ කෙරුණු අතර, තුන්වන කථිකයා ලෙස ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වයෙන් විශේෂ යෝජනා 04 ක් මෙහි දී පරිසර සමුළුවට ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
පරිසර අමාත්‍යවරයෙකු ලෙස මෙන් ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් වීම ද විශේෂත්වයකි.
ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට මාර්තු 15 වන දා එරට රාජ්‍ය මන්දිරයේ දී එක්වුණු අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර තලයේ දී එක්ව කටයුතු කිරීමට එහිදී නායකයෝ සහතික වූහ.
සිය සංචාරයේ දී නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකට ද එක්වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට අමතක නොකළේය.
මේ අතර කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනපතිට ගෞරවණීය සමුදීමක් වෙනුවෙන් එරට ජල සම්පාදන අමාත්‍ය Simon Kiprono Chelugui මහතා ඇතුළු නියෝජිත පිරිසක් නයිරෝබි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.