තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ “ගමට තොරතුරු අයිතිය” ජංගම සේවා වැඩසටහන් මාලවේ දෙවෙනි වැඩසටහන 2019.03.16 වන දින මඩකලපුව නව කල්මුනේ පාරේ ශිවානන්ද ජාතික පාසලේදී පැවැත්වීය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නැගෙනහිර පළාත් ජනතාව ඉලක්ක කර සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සමාජීය පොදු ගැටළු විසදීමේදී තොරතුරු පනත භාවිතා කරන ආකාරය, තොරතුරු පනත භාවිතයෙන් එම ගැටලු සඳහා විසදුම් හඳුනා ගැනීම,තොරතුරු ඉල්ලුම් පත්‍රයක් පුරවන ආකාරය ඇතුළු තොරතුරු ලබාගන්නා අවස්ථාව දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම මෙම ජංගම සේවය තුළින් සිදු කරන ලදී.
පුරවැසියන් 400ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ජංගම සේවය සාර්ථක කර ගැනීමට AFRIEL තරුණ සංවිධානෙය් සහයද ලැබිණි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය ජේ. මුරලිදරන් මහත්මියත්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුනුත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.ජයන්ත මහතා සහ සහකාර ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය ඇතුළු තොරතුරු දැන ගැනීමේ ඒකකයේ නිලධාරී මහත්වරුන් සහභාගී වන ලදී.
එසේම සම්පත් දායකත්වය සඳහා තොරතුරු කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, නීතීඥ ජගත් ලියනාරච්චි මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා සහ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රඝුරාම් මහතා සහභාගී වන ලදී.