උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10 වන දින ප.ව 4.00ට කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති රැස්වීමක් සහ මාධ්‍ය වේදීන් සමඟ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන බවයි.
එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා හඳුනාගනිමින් ඒවා ඇගයීමට ලක්කිරීම,වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පසුබිම නිර්මාණය කරනු වස් නිසි මග පෙන්වීම් ලබාදීම හා අභිපේ‍්‍රරණය කිරීම,සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්රය, හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සවිබල ගැන්වීම,ජනමාධ්‍යවේදීන් විසින් සමස්ත සමාජය වෙනුවෙන් හිතකර වූද, නිදහස් වූද, සංවර්ධනාත්මක දෘෂ්ටි කෝණයකින් යුතු වූද මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පෙළඹවීම් කිරීම සහ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්රය ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණු වේ.
ශ්‍රි ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී පුවත්පත්,රේඩියෝ ,ටෙලිවිෂන් සහ වෙබ් අඩවි යන ක්ෂේත්‍ර හතර සදහා 2017 වසරේ ප්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා සම්මාන 47ක් පිරිනැමෙන අතර ජූරියේ විශේෂ සම්මාන 04ක් ද පිරිනැමීමට නියමිතය.
2018 ජුලි මස 13 වන දින පළ කරන ලද පුවත්පත් දැන්විමකින් කැඳවු අයදුම්පත් 1674 ක් අතුරින් මෙම විශිෂ්ටයින් තොරාගෙන ඇති අතර මේ සඳහා විද්වත් විනිශ්චය මණ්ඩලයට කිසිදු බලපෑමකින් තොරව තම විනිශ්චය ස්වාධීනව ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබුණු බව මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ මෙහෙයුම් කමිටු සාමාජික මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා පැවසීය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන)රමණි ගුණවර්ධන මහත්මිය,ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා,සියළුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළුව අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී විය.