ඒ හා සමගාමී ව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අද දින වැඩසටහන් රැසක්

“රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර මඩකලපුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ඊයේ (08) ආරම්භ කෙරිණි.
ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් කි‍්‍රයාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව කි‍්‍රයාත්මක කරමින් ග‍්‍රාමීය මට්ටමේ සිට දිස්ති‍්‍රක් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප‍්‍රතිලාභ අත්කරදීම ,රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි.
රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන හරහා සිදු කෙරේ.
එහි පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු අතර ඉදිරියේ දී දීප ව්‍යාප්ත ව දිස්ති‍්‍රක් මට්ටමින් වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.
මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් අපේ‍්‍රල් 12 වන දා දක්වා එහි දෙවන අදියර කි‍්‍රයාත්මක ය.
ඒ හා සමගාමීව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කළ වැඩසටහන් කිහිපයක් අද දිනය පුරා දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක දී කි‍්‍රයාත්මක කෙරිණි.
එහි පළමු වැඩසටහන මන්මුනෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තමෙලෙයි ප‍්‍රදේශයේ දී පැවැත්වුණු අතර අතිරේක ආහාර බෝග බීජ බෙදාදීම, ගොවීන් දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් එහි දි කි‍්‍රයාත්මක විය.
මන්මුනෙයි කොක්කඩිචෝලෙයි ප‍්‍රදේශයේ දී TOM EJC අඹ පැළ බෙදාදීම, වතුර මෝටර් බෙදා දීම, රටකජු බීජ බෙදා දීම සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.
එමෙන්ම මන්මුනෙයි පත්තු, කිරන්කුලම් මධ්‍යම ප‍්‍රදේශයේ දී ද, කෝරළෙයි පත්තු මධ්‍යම තියවට්ටවන් ප‍්‍රදේශයේ දී ද, එරාවුර් පත්තු, මාවලයාරු ප‍්‍රදේශයේ දී ද අතිරේක ආහාර බෝග බීජ බෙදාදීම, ගොවි ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් සංවිධානය කර තිබුණි.