ලෝකය හා සමාජය වෙනස් කිරීම මෙන්ම මිනිසාගේ සිත් සතන් වෙනස් කිරීමේ පුළුල් කාර්ය භාරය ඉටු කරන්නේ ජනමාධ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති (10) විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් උදෙසා “ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018” සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
ලංකාවේ පළමු වැනිවරට පවත්වන ජනාධිපති සම්මාන ජනමාධ්‍යවේදීන් සඳහා ලබාදෙන අවස්ථාවට සහභාගි වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. රාජ්‍ය නායක සම්මානයක් ජනමාධ්‍යවේදීන්ට ලබදුන් බව වාර්තා වන්නේ නෑ.හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා මා සාකච්ඡා කළ අවස්ථාවක තීරණය කළා මෙවැනි සම්මාන ලබාදීමක් සිදු කළ යුතු බව. මෙවැනි සම්මාන දීමක දී වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට සම්මාන දීම දුෂ්කර නෑ. කලාකරුවන්, ජනමාධ්‍යවේදී ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ට සම්මාන දීම ලෙහෙසි කාර්යයක් නොවේ.මමත් ලේක් හවුස් ආයතනයේ නිදහස් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළා.පහළ සිටම අත්දැකීම් මේ පිළිබඳව ලබා තිබෙනවා. අපේ රටේ ජනමාධ්‍ය වගේම අන්තර්ජාතික වශයෙන් ලෝකය වෙනස් කරන්නේ ජනමාධ්‍ය හා නව තාක්ෂණයයි. පුළුල් විශිෂ්ඨ හා උතුම් කාර්ය කරන්නේ ජනමාධ්‍යයි. 

ලූෂන් බුලත්සිංහල මහතා කර්තෘ භාගය ගැන විමසීමක් කළා.කර්තෘ භාගය පිළිබඳ රැස්වීම් සාකච්ඡා කීයක් තිබ්බද කියලා, එතුමා දන්නවා.අසමඟිය බරපතල ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්න රාශියක් තිබුණා. නැවත ඒ පිළිබඳව සොයා බලලා,සාකච්ඡා ආරම්භ කරන්න තීරණය කළා.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පුරෝගාමී කටයුත්තක් ඉටුකළ බවත් මෙතෙක් කටයුතු කළ ජනමාධ්‍ය ඇමැතිවරුන්ට හොඳක් අහන්න නොලැබුණ ද වත්මන් ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බවත්, ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පවුලකින් පැවත එන අයෙක් ලෙස රුවන් විජයවර්ධන මහතාට මේ විෂය හොඳින් කරගෙන යාමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද පැවැසීය.
අපේ රටේ ජනමාධ්‍ය හා දේශපාලනඥයා, ජනමාධ්‍ය හා පුරවැසියා, ජනමාධ්‍ය හා රාජ්‍ය සේවකයා, ජනමාධ්‍ය හා පාසල් සිසුවා මේ සියල්ල පිළිබඳ එකිනෙකට ගත්විට බොහෝ වෙනස්කම් දැක තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා ජනමාධ්‍ය තුළින් යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේ දී අද තිබෙන අභියෝග තේරුම්ගෙන අප සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා,පෙන්වා දුන්නේය.
මෑත කාලයේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම වෙබ් අඩවි හරහා විවිධ මඩ ප්‍රචාර එල්ලවන බවත් සාමාන්‍යයෙන් තමා වැනි කෙනකුට ඇද ඇද මඩ ගහන්නට හැකි බවත් තමාට බොහෝම ලෙහෙසියෙන් පහර දියහැකි වන අතර තමා පාතාලය සමඟ අපරාධ සමඟ සම්බන්ධ නොමැති බව ද ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැරැදි ලෙස යොදා නොගන්නා බව ද සඳහන් කළේය.
දේශපාලනඥයා වගේම අති දූෂිත පිරිසක් මේ සමාජයේ ඉන්නවා. කිසිඳු මාධ්‍යකින් කතා කරන්නේ නැහැ. ඒ අය සම්බන්ධයෙන් කතා කරන්නේ නම් මාධ්‍ය ආයතනවලටත් ප්‍රශ්න එන බව මම දන්නවා. නිදහස් මාධ්‍ය කොයි රටක තිබෙනවා දන්නේ නැහැ. අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය හැමවිටම රාජ්‍යයේ කටයුත්ත පමණක් කරන්න නියෝග ලැබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත්ත කිසිම ඇමැතිවරයෙක් හොඳ අසා නැහැ. තර්ජනයට ලක් වුණේ වැඩි වශයෙන් රාජ්‍ය නායකයාගෙන්. මම රුවන්ටත් කිවුවේ මේ තනතුර ගත් අය නම් හොඳ ඇසුවේ නැහැ කියලා. රාජ්‍ය නොවන මාධ්‍ය ගත්විට, ඒ ආයතන අයිති පුද්ගලයාට අවශ්‍ය විදිහට කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිදි නිදහසේ කටයුතු කරන්න පුළුවන්ද. අයිති පුද්ගලයාගේ අදහස් තමයි යන්නේ. උදේට පත්තර කියවනවා. මම හොඳට දන්නවා ඒ අයට ඒ කාලවල දී වෙච්ච දේවල්. පත්තරේ ප්‍රවෘත්තිය නොව තමන්ට අවශ්‍ය දේ ඔවුන් කියනවා. මේ නිදහස් මාධ්‍ය පාවිච්චි කරන විදිහ. මම ඉන්නකල් සැපෙන්, සනීපෙන්, නිරෝගීව වැජඹෙන්න ඒ අයට පුළුවන්. මාව ජනාධිපති කරන්න ඒ ජනතා බලවේගයට උදව් කළ මුහුණු රැසක් මෙතන ඉන්නවා.ඒ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය විසින් පාවිච්චි කරන විට කෙතරම් සදාචාරාත්මක ලෙස පාවිච්චි කරනවා ද යන්න ගැටලුවක් තිබෙනවා. දී තිබෙන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වනසා ගන්න, නැතිකර ගන්න එපා. විකල්පයෙන් බිහිවන්නේ විකල්පයක්, දර්ශනයකින් හෙබි චරිතයක් කියන එක දන්නවා. ලංකාවේ පළමුවරට මාධ්‍යවේදීන්ට සම්මාන දෙන අවස්ථාවට එන්න ලැබීම ඵෙතිහාසික අවස්ථාවක් වෙනවා.

ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා-
සියවස් දෙකකට ඉතිහාසයක් ඇති මාධ්‍ය වංශ කතාවේ ආරම්භය 1834 දී සිදු වෙනවා. කලම්බු ජර්නල් පුවත්පත මුලින්ම ආරම්භ කර තිබෙනවා. එසේ ආරම්භ වූ මුද්‍රිත මාධ්‍ය මේ වනවිට වඩාත් පුළුල් වී තිබෙනවා. 1925 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලිය ආරම්භ කර තිබෙනවා. දකුණු ආසියාවේ පැරැණිම ගුවන් විදුලිය ලෙස එය ඉතිහාසයට එක්වෙනවා. ඉන් නොනැවතුණු ශ්‍රී ලාංකීය මාධ්‍ය තවත් පෝෂණය වෙනවා. 1979 දී ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ. එදා මෙදා තුර අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙනවා. නව තාක්ෂණ යුගයක් කරා යන්නට වෙර දරන සැමට නිසි ගෞරවයක් දෙන්න මෙය සංවිධානය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල හිටපු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ කාලයේ දී ආරම්භ කළා.
අද එය යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පවත්වනවා. අද දිනය මාධ්‍ය වංශ කාතාවේ රනින් සනිටුහන් වෙනවා. මෙවැන්නක් තුළ මාධ්‍යවේදියා කරන කාර්යය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙනවා. මාධ්‍යවේදියා සමස්ත සමාජය වෙනුවෙන් පෙනී සිටිනවා. මිනිසාගේ හැඟීම් වෙනස් කරනවා. විවිධ දේ කරන්න පුළුවන්. රටේ මහජනතාව වෙනුවෙන් හුදු මතයක් පළකළ හැකි විශිෂ්ඨ ගණයේ පුද්ගලයෙක්. මාධ්‍යවේදියා කරන කාර්යයට නිසි ගෞරවයක් දෙන්න අවශ්‍යයි. තමා නිවැරැදි යැයි සිතන දේ නොව යථාර්ථවාදී සත්‍යයක් ඉදිරිපත් කිරීම ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වෙනවා. තොරතුරු ලබා ගන්න මහජනතාව වැඩි උනන්දුවක් දක්වනවා. වෙබ්වල සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරු ද ඉදිරිපත් වෙනවා. හතු පිපෙන්නාක් මෙන් වෙබ් අඩවි නිර්මාණය වීමෙන් යම් යම් ගැටලු ඇති වෙනවා. කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් ද අපි අද ඇගයීමක් දෙනවා.
මාධ්‍යවේදීන්ගේ ජීවිත අහිමි වූ කාලයක් තිබුණා. ඇතැමුන් රටහැර ගියා. අද වනවිට උපරිම මාධ්‍ය නිදහස් තිබෙනවා. ඇත්ත ඇති සැටියෙන් අද වනවිට වාර්තා කරන්න නිදහසේ පුළුවන්කම ලැබී තිබෙනවා.
මෙහිදී මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන් සඳහා, දිවියේ එක් වරක් පමණක් පිදෙන ජුරියේ විශේෂ සම්මාන “ශ්‍රී ලංකා මාධ්‍යාභිමාණී” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත්‍රය සඳහා කලාකීර්ති ආචාර්ය එඩිවින් ආරියදාස, ගුවන් විදුලි ක්ෂේත්‍රය සඳහා කරුණාරත්න අමරසිංහ, රූපවාහිනී ක්ෂේත්‍රය සඳහා ලූෂන් බුලත්සිංහල සහ වෙබ් ක්ෂේත්‍රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහත්වරුන්ට පිරිනැමූහ. මාධ්‍ය සංකතන ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිණි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ මාධ්‍යවේදීන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

.