මෙරට ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු නිර්මාණය කළ “ රාවන - 1 “ චන්ද්‍රිකාව ඊයේ (18) අභ්‍යවකාශ ගත කෙරිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.16ට පමණ “ රාවන - එක “ චන්ද්‍රිකාව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගත කිරීම සිදු කර ඇත. මෙම චන්ද්‍රිකාවට “ රාවන එක “ ලෙස නම තබා ඇත්තේ රාවණා රජුගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලෝකයට කියා පෑමේ අරමුණින් බව එහි නිර්මාණකරුවෝ පවසති.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දායරත්න යන නිර්මාණකරුවන් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබේ. ඔවුන් දෙදෙනාම මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර දුලානි චාමිකා විතානගේ විද්‍යුත් යාන්ත්‍රික තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව හදාරා ඇති අතර තරිඳු දායරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමෙන් පසුව ඔවුන් දෙදෙනාම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරුන් ලෙස සේවයට එකතු වී ඇත.
මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම සඳහා පෙබරවාරි 18වැනි දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාරදීම සිදු කර ඇති අතර එය රැගත් රොකට්ටුව අමෙරිකාවේ වර්ජිනියා හි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු කර ඇත.
ඝන සෙන්ටිමීටර් දහසක විශාලත්වයෙන් යුතු මෙම චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව වාර්තා වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවන එක චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම කාලය අවුරුදු එකහාමාරක් වන අතර වසර 5ක් දක්වා එය පැවතිය හැකි බවට විශ්වාස කරයි.
චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම හරහා ප්‍රධාන අරමුණු 5ක් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ අතර ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවල දී භාවිතයට ගැනීමට නියමිත ලොව්රා මොඩියුල් නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේ දී දැනට භාවිතා වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, ක්කෂ ගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම හා පෘථිවියේ චුම්බක ශක්තිය පිළිබඳ අධ්‍යනය කිරීම එම අරමුණු අතර වේ.
එමෙන්ම ප්‍රධාන වශයෙන් මේ හරහා නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලාංකීක ඉංජිනේරුවරුගේ සහ විද්‍යාඥයන්ගේ දැනුම වර්ධනය කර ගැනීම, කුඩා චන්ද්‍රිකාවන් ඉදිරියේ දී නිර්මාණය කිරීමට මේ හරහා බලාපොරොත්තු වේ.