පාස්කු දින ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය කෲර ප්‍රචණ්ඩ ක්‍රියාවක් - පාප්වහන්සේ

පාස්කු දින ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය කෲර ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස පාප්වහන්සේ හෙළා දකියි.
එකසිය තිස් අටකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ පල්ලි තුනකට සහ හෝටල් හතරකට පාස්කු ඉරිදා (21) එල්ල වූ ප්‍රහාරය කෲර ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හෙළා දුටු පාප්වහන්සේ පාස්කු සමරමින් සිටියදී ප්‍රහාරයට ලක් වූ ක්‍රිස්තියානි ප්‍රජාව සමඟ තමන් වහන්සේ ඉන්නා බව ද කීහ. මේ වටිනා දවසේ, පාස්කු දිනයේ, ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට සහ මිනිසුන් රැස්වන අනිකුත් ස්ථානවලට වැළපීම සහ වේදනාව ගෙන ආ මේ මාරාන්තික ප්‍රහාරයේ ප්‍රවෘත්තිය මා ඇසුවේ ශෝකයෙන් සහ වේදනාවෙන් යැයි පාප්වහන්සේ කීහ. උන්වහන්සේ මේ බව කීවේ පාස්කු ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී නගරය සහ ලෝක පණිවුඩය ඇසීමට ආ දස දහස් ගණනක් වූ බැතිමතුන් පිරිසක් ඉදිරිපිටදීය.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ කීහ යාඤා කිරීම සඳහා රැස්ව සිටියදී ප්‍රහාරයට ලක් වූ සහ එම කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියාවේ ගොදුරු බවට පත් වූ සියලුම දෙනාට මාගේ ආදරය සහ සමීපතාවය ප්‍රකාශ කරමි. ශෝකී ලෙස මියගිය අය මම ස්වාමියාට භාර දුන් අතර තුවාල වූ සහ මේ සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස වේදනාවෙන් පසුවන අය වෙනුවෙන් යාඤා කරන බවද පාප්වහන්සේ වැඩිදුරටත් කීවේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාද ශ්‍රී ලංකාවේ සිදු වු ප්‍රහාර මාලාව හෙලා දැකිමින් ශෝක පණිවිඩයක් නිකුත් කර ඇත.


ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකියි

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටියි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටින බවද නිකුත් කළ පණිවුඩයේ සඳහන් වෙයි.
පාකිස්ථානයේ අගමැති ප්‍රහාරය හෙළා දකියි

narendra modi

කොළඹ හා තවත් ප්‍රදේශ කීපයක සිදු වූ පිපිරීම් සිදුවීම් හෙළා දකින බව පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියි.

imran khan

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා

ශ්‍රී ලංකාව තුළ පල්ලි හා හෝටල් වලට එල්ල වී ඇති ප්‍රහාරය සම්බන්ධයෙන්  එක්සත් ජනපදයේ  ශෝකය පළ කරන බවත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටී.

මේ අතර චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත් පෞද්ගලික වශයෙනුත් දැඩි කනගාටු පළ කරමින් තුවාල ලැබුවන් සහ ජීවිතක්ෂයට පත් වූවන්ගේ ඥාතීන් වෙත තම හෘදයාංගම ශෝකය පළ කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං ද ශ්‍රී ලංකාව මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා රාජ්‍ය නායකයන් මෙන්ම ලොව පුරා ජනතාව ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් සිය ශෝකය ප්‍රකාශ කරන ලද අතර විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විපතට පත් වූවන් වෙනුවෙන් විවිධ සිහිපත් කිරීමේ වැඩසටහන් සංවිධාන කර තිබුණි.