පසුගියදා බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය.

එමෙන්ම කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කළේය.
අනතුරුව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුලූ එම දේවස්ථානයේ පූජකතුමන්ලා සහ දේශපාලන ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
දිවයිනේ දේවස්ථාන සහ තවත් ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමෙන් සිදුව තිබෙන ජීවිත හානි හා දේපොළ හානි පිළිබඳව මෙන්ම ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් ස්ථාන කිහිපයක අද සිදුවූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදුවූ සියලූ දෙනාටත් රජයේ කණගාටුව පළ කර සිටින බව පැවසීය.