රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඊට අවශ්‍ය නායකත්වය පහසුකම් සහ මඟපෙන්වීම නොමඳව ලබාදීමේ වගකීම තමා ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමඟ පෙරේදා (24) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ හමුවක දී ය.
රට තුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුවත්, ශ්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමඳ ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කරන ලදී.
ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් සිව් වසරේ දී රට තුළ තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමඟ මෙම අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ කවුරුන් කුමන ආකාරයේ විග්‍රහ, විවේචන සහ මත පළ කළ ද මෙම සිදුවීම පිළිබඳ සැබැ අවබෝධයකින්, අවංකව සහ රට ගැන හැඟීමකින් යුතුව කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවයි.
ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ මෙම ත්‍රස්තවාදි ව්‍යාපාරය වසර 30 ක් අප රට මුහුණ දුන් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයට වඩා වෙනස් වූවක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට මුහුණදිය හැක්කේ ඊට අනුකූල උපක්‍රම මඟින් බවය. ලොව රටවල් රැසකට අභියෝගයක් වූ මෙම ත්‍රස්ත ව්‍යාපාරය මර්දනය සඳහා මේ වන විට ලොව බලවත් රටවල් අතගසා තිබෙන අතර, ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වය පිළිබඳව ද එම සියලුදෙනාගේ අවධානය යොමු කර එම ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන, තාක්ෂණික දැනුම මෙන්ම සියලු සහය ලබාදීමට එම රටවල් මේ වන විට ඉදිරිපත්ව සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම මෙන්ම ත්‍රස්තවාදය ද අද ලෝකයේ එකම ජාලයක් බවයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬලීමට ප්‍රබල සටනක් දියත් කළ මෙම අවස්ථාවේ මතුවූ මෙම ත්‍රස්තවාදය ද එකම මුලාශ්‍රයක් විය හැකි බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා රට හමුවේ ඇති මෙම සියලු අභියෝග සාමුහිකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය ජාතියේ ශක්තිය දැනුම, අවබෝධය මෙන්ම ජාත්‍යන්තර සහාය ද උපරිමයෙන් මෙම අවස්ථාවේ භාවිතයට ගත යුතු බව අවධාරණය කරන ලදී.
මෙම ඛේදජනක සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරින් තිදෙනා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහෝදර නිලධාරින් වෙතත්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙතත් සිය බලවත් කණගාටුව සහ සංවේගය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද යුද හමුදාපති, පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මීට එක්ව සිටියහ.