මැයි දින පණි­වි­ඩය­

සිදු වූ අ‍නපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බිඳ වැටුණු හදවත් සුවපත් කරමින් අප ජනතාව සතු ශක්තිය හඳුනාගනිමින් පෙරට යන ගමනේදී වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි අගයක් ලබාදෙන සාධාරණ සමාජයක් ගොඩනැඟීමට මෙවර මැයි දිනයේදී කැපවිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවිඩය මඟින් ජනතාවට පවසයි.

වැඩ කරන ජනතාවගේ දවස ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති මැයි දිනය මෙවර එළඹෙන්නේ රට දැය වෙනුවෙන් දහදිය ශ්‍රමය වැය කළ අහිංසක ජනතාවක් රුදුරු ත්‍රස්ත ප්‍රහාර හමුවේ අහිමි වී ගිය තුවාල ලැබූ ශෝකී අවස්ථාවක මෙන්ම රටේ ආරක්ෂාවට ආර්ථිකයට සහ සමස්ත පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වූ තීරණාත්මක මොහොතකය.

පැවති සමාජ දේශපාලන ආර්ථික අර්බුද ජයගනිමින් සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පා නඟමින් සිටි අප රටට මේ අනපේක්ෂිත ප්‍රහාර නිසා ඇති වූ බලපෑම අති විශාලය. මෙම ප්‍රහාරයන්හි අරමුණ ද රට අස්ථාවර කරමින් අප දිනාගත් සියලු ජයග්‍රහණයන් ආපසු හැරවීම බව පැහැදිලිය.

කම්කරු ශ්‍රමයේ සැබෑ අරුත සමානාත්මතාව, සහෝදරත්වය, ස්වාධීනත්වය යන පරමාදර්ශයන් තුළ ගැබ් වී ඇත. අපි ගොවිබිමේ, කම්හලේ, නව තාක්ෂණයෙන් පිරිපුන් රැකියා ස්ථාන ආදී කොතැනක සේවය කළත් ජාතිවාදය හෝ ආගම්වාදය පසෙකලා මනුෂ්‍යත්වයට ගරු කිරීමට බැඳී සිටිමු. පුද්ගලයින් වශයෙන් මෙන්ම සමස්ත සමාජයක් ලෙසත් මව්බිමේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට අපට හැකි වන්නේ එවිටය.

සාමය සහ සංහිඳියාව තුළින් වැඩකරන ජනතාවට දිනාගත හැකි දෑ‍ බොහෝය. මේ තාක් අප විසින් අත්පත් කරගත් ප්‍රගතිය අන්තවාදී බලවේග මඟින් අඩාල කරදැමීමට ඉඩ නොතබා අපි අවදි මනසින් කටයුතු කරමු. අප හමුවේ ඇති සමාජ ආර්ථික නේම දේශපාලනික අභියෝග ජයගැනීමට නම් අපි එක්සත්ව දැඩි වීර්යයෙන් යුතුව නැඟී සිටිය යුතු වෙමු.