මැයි දින පණිවුඩය

ශ්‍රී ලංකාව යනු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකඟතා හා නිර්ණායක අනුව සහයෝගයෙන් කටයුතු කරන දේශයක් බව මැයි දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මැයි දින පණිවිඩයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි

සිය දෛනික සේවා කාලය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා කළ අරගලයේදී තම ජීවිතයෙන් වන්දි ගෙවූ උදාර කම්කරු පිරිසක් පිළිබඳ මතක පුරාවත රැව් දෙන දිනය අදයි.

එකී ඓතිහාසික සංසිද්ධියේ ජීව ශක්තියෙන් පණ ගෙවුණු සමස්ත ලෝකවාසී කම්කරු ප්‍රජාවගේ සාධාරණ මානව අපේක්ෂාවන් ගේ දිනය අදට යෙදේ. එබැවින් මින් වසර 133කට පෙර ඇරැඹුණු අරගලය ඉන් නොනැවතී අනවරත අරගලයක් චබවට පත් කරමින් ස්වකීය අයිතීන් සපුරාගනු පිණිස අධිෂ්ඨානශීලී පෙර ගමනක යෙදෙන මුළු මහත් කම්කරු ජනතාව වෙත මාගේ ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි.

කම්කරු ජනතාව ස්වකීය අයිතීන් දිනා ගැනීමට නම් සාමූහිකව හඬක් නැගිය යුතු බවට ලෝකය පුරා ඇති වූ අවබෝධය ප්‍රථම වරට දැනුණේ මෙරට මුද්‍රණ ශිල්පීය ක්ෂේත්‍රයේ අකුරු අමුණන කම්කරුවන්ටයි. අනතුරුව දුම්රිය, ගැල්, ට්‍රෑම් රථ, වරාය ආදී ක්ෂේත්‍රයන්හි කම්කරු පිරිස් සිය අයිතිය වෙනුවෙන් හඬ නගන්නට වූ බව අපි දනිමු. විශ්‍රාම වැටුප් හිමිකම, අර්ථසාධක අරමුදල වැනි සේවක අයිතිවාසිකම් මැයි දින පෙළපාලිවල සටන් පාඨ වශයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම්වල ප්‍රතිඵල වේ.

ශ්‍රී ලංකාව යනු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකඟතා හා නිර්ණායක අනුව සහයෝගයෙන් කටයුතු කරන දේශයකි. ශ්‍රමයේ බලය හිමි ජනතාවගෙන් තොරව කිසිදු ක්ෂේත්‍රයක සඵලත්වයක් අත්කර ගත නොහැකි බව වටහා ගෙන සිටින අපි වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරනු පිණිස ඔවුන් සතු බලයේ මහිමය ද අවබෝධ කරගත්තෝ වෙමු.

අනපේක්ෂිත ලෙස රට තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ආරක්ෂාව පළමු කොට සලකා මෙවර මැයි දින සමරු උත්සව හා පෙළපාලි නොපැවැත්වීමට ‍බොහෝ දේශපාලන පක්ෂ තීන්දු කොට ඇත. එසේ වුව ශ්‍රමයේ උරුමය හිමි සර්ව සාධාරණ අයිතිවාසිකම් සහිත එකම මිනිස් සමූහයක් ලෙස අපි අපේ හිමිකම් හා අන්‍යෝන්‍ය සහජීවනය ද උවදුරින් තොර ජීවන පරිසරයක් ද උදෙසා එකාවන්ව කටයුතු කිරීමේ අපේක්ෂාවන් වඩාත් තිර ලෙස ඉදිරියට ගෙනයෑමට මෙවර මැයි දිනයේදී අදිටන් කරගනිමු.

ඔබ සැමගේ නොනිමි අරගලවල වර්තමානය අනාගත සංවර්ධිත මාවත් හෙළි පෙහෙළි කරනු සඳහා හේතු වනු ඇතැයි යන විශ්වාසයෙන් මෙරට සමස්ත කම්කරු ප්‍රජාවට සුබ ප්‍රාර්ථනය කරන අතර මාගේ ගෞරවාචාරය ද ඔබ වෙත පළ කර සිටිමි