ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ අඩපණ වූ මෙරට ආර්ථිකය යළි නැංවීමට ජාතික ආර්ථික සභාවෙන් පූර්ණ සැලැස්මක් සහ කි‍්‍රයාමාර්ග

රට මුහුණදුන් ඛේදජනක සිදුවීමෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගතයුතු කඩිනම් තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට ජාතික ආර්ථික සභාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

මෙම අවස්ථාවට මුහුණදීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව වෙත රජයෙන් ලබාදිය යුතු සහන සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව දියත් කළයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීම, මහජන ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ඉදිකිරීම්, ඇගළුම්, අපනයන කර්මාන්ත සංගම් නියෝජිතයන් සහ වාණිජ මණ්ඩල, ආයෝජන මණ්ඩලය, අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය බැංකු නියෝජනය කරමින් නියෝජිතයන් ද ආර්ථික සංවර්ධනයට අදාළ සියලු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

ඇති වූ අනපේක්ෂිත තත්ත්වය හමුවේ තමන්ට මුහුණදිමට සිදුවූ ගැටලු පිළිබඳ මෙහිදී එම ව්‍යාපාරික සංගම් විසින් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ නිෂ්පාදකයන්, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, අපනයනයකරුවන් ඇතුළු පාර්ශ්වයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනමි විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

එම කටයුතු සඳහා, සංචාරක කෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට ගත යතු පියවර පිළිබඳ සොයා බැලීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී පත් කරන ලද කැබිනට් අනු කමිටුව තවදුරටත් පුළුල් කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ අනුව අදාළ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ට ලබාදිය හැකි සහන පිළිබඳව වැඩිදුරටත් එම කමිටුව මගින් සොයා බලනු ඇති බව සඳහන් කළේය.

එමෙන්ම අද පැවති ජාතික ආර්ථික සභාවේ දී අනාවරණය කෙරුණේ මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය තුළ යම් පසුබෑමක් සිදු වුව ද විදේශ ආයෝජකයන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ විශ්වාසය පළුදුවීමක් දක්නට නොලැබෙන බවත්, එම සියලුදෙනා රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් පසුබෑමකින් තොරව සිය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් ය. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ සැලකිය යුතු මට්ටමකින් රුපියල අවප‍්‍රමාණ වීමක් ද සිදු වී නොමැති අතර, එබැවින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී නොමැති බව ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගත් කඩිනම් පියවර මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාවගේ පැසසුමට ලක් වූ අතර ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ කුමන විවේචන එල්ල වුව ද ත‍්‍රස්තවාදයට එරෙහිව ගත් පියවර කිසිසේත් දුර්වල වීමට ඉඩ නොතබා අඛණ්ඩව කි‍්‍රයාවට නංවන බවයි.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, රවී කරුණානායක, ඉරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.