ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුදෙනාට හිමිවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අපේ‍්‍රල් 21 වනදා සිදුවීමට වගඋත්තරකරුවන් වන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පසුගියදා(11) උහන මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ති‍්‍රක් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ලක් වූ ලොව සෑම රටකම පාලකයන් විසින් ඉතා කෙටි කලක් තුළ එම රටවල් සාමකාමී රටවල් බවට පත්කර ගැනීමට පියවර ගත් අතර ඊට එම රටවල දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලුදෙනා සාමුහිකත්වයෙන් රට වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටි බවයි.

තමා ද රාජ්‍ය නායකයා ලෙස මේ රටේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ගෙවී ගිය දින 20 පුරා ඔවුන් නිසි කළමනාකරණයකට ලක් කළ බව කියා සිටි ජනාධිපතිතුමා එම වගකීම ආරක්ෂක අංශ විසින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකර තිබෙන බවත් තමාට මෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම අපගේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් සඳහන් කළේය.

එහෙත් කනගාටුවට මෙන් බෝම්බ පුපුරන තෙක් බලා සිටින කුහක දේශපාලනඥයන් පිරිසක් ද අද රට තුළ සිටින අතර මෙවන් අවාසනාවන්ත තත්ත්වයක දී වුවත් තම පහත් පෙළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඔවුන් දරන උත්සාහයන් පිළිබඳ තමන් දැඩිව කනගාටුවට පත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙවන් සිදුවීම් හමුවේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ හා දෛනික ජන ජීවිතය අඩාළ කරගතහොත් ජයග‍්‍රහණය කරන්නේ ත‍්‍රස්තවාදය බවයි.

එබැවින් ජාතික ආරක්ෂාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රට වෙනුවෙන් තම දෛනික කාර්යයන් නිසි ලෙස ඉටුකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් සංවර්ධන වැඩපිළිවෙළ කිසිදු ප‍්‍රමාදයකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කළයුතු බවත් එහිදී මෙරට ලක්ෂ 16ක් වූ රාජ්‍ය සේවකයින්ට පෙර පැවති වගකීමට වඩා වැඩි වගකීමක් පැවරී ඇති බවත් සඳහන් කළේය.

ජනතා ගැටලු කාර්යක්ෂමව හඳුනා ගනිමින් ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර, ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන් ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩා වේගවත් සහ විධිමත් කරමින් ජනතාවට උපරිම ප‍්‍රතිලාභ ලබාදීම ද වැඩසටහනේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ සංවර්ධනයෙන් අඩු දිස්ති‍්‍රක්ක තෝරා ගනිමින් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම අරමුණ බවත් මීළඟ වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අපේක්ෂා කරන බවත්ය.

නැගෙනහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා උහන මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට ඉදිරි මසක් තුළ පියවර ගන්නා බවත් එහි සංවර්ධනය වෙනුවෙන් ලබන සතිය වන විට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

“ශ‍්‍රී ලාංකීය සමාජ, ආර්ථික හා සංස්කෘතික පුනරුදය වෙනුවෙන් පොදුජන මෙහෙවර සමග එකට සිටිමු” තේමාව යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන් මාලාවේ තුන්වන අදියර අම්පාර දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 06 වනදා ආරම්භ කෙරිණි.

උහන, අක්කරෙයිපත්තු, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සයින්දමර්දු, තිරුක්කෝවිල්, දමන ඇතුළු දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය කරමින් ජන ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරුණු අතර පාසල් සිසුන්, වැඩිහිටි හා තරුණ ප‍්‍රජාව, විශ‍්‍රාමිකයන්, රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන ආයතන හා ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව විශාල උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබිණි.

දෙදහස් එකසියයකට අධික වූ මෙම සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92 ක් වන අතර ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහස ඉක්මවයි. දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 130ක් වැය කරමින් වැඩසටහන් රැසක් ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට නියමිතව තිබේ.

අද පැවති සමාප්ති අවස්ථාවේ දී ප‍්‍රතිලාභ රැසක් දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ලබාදීම සිදුවූ අතර ආගමික ස්ථානවල සංවර්ධනය සඳහා ප‍්‍රදානයන් සිදු කිරීම, රෝහල් සඳහා ගිලන් රථ ඇතුළු උපකරණ ප‍්‍රදානය, පානීය ජල පද්ධති සහ වකුගඩු රෝගී පවුල් වෙත ගෘහස්ථ ජල පෙරණ යන්ත‍්‍ර ලබාදීම, ඉඩම් ඔප්පු ලබාදිම, ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ව්‍යාපෘතිය වෙනුවෙන් වගකීම් පැවරීම, ළමා නිවාස සඳහා ආධාර ප‍්‍රදානය, ස්වයං රැකියා හා ජීවනෝපාය මාර්ග සංවර්ධන ණය ලබාදිම, මිරිදිය ධීවරයන් වෙත දැල් ආම්පන්න ලබාදීම සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙත කෘෂි උපකරණ කට්ටල බෙදාදීම, පොල්පැළ හා කජු පැළ බෙදාදීම, පාසල් සඳහා කී‍්‍රඩා උපකරණ ප‍්‍රදානය, ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ පළාතේ අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශ‍්‍රියානි විජේවික‍්‍රම, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රට වෙනුවෙන් එකට සිටිමුඅම්පාර දිස්ත‍්‍රික් ප‍්‍රගති සමාලෝචන වැඩසටහනේදී ජනාධිපතිතුමා කළ කතාව 2019-05-11 අම්පාර උහන මහා විද්‍යාල ක‍්‍රීඩාංගණයේ දී

අද අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන මහා විද්‍යාලයට පැමිණියේ දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙන “එකට සිටිමු ” ජාතික වැඩසටහනේ අම්පාර දිස්ත‍්‍රික් සමාප්ති වැඩසටහනටයි.

ප‍්‍රථමයෙන් අපේ‍්‍රල් 21 වෙනිදා මේ රටේ සිදුවූ ඒ අභාග්‍යසම්පන්න සිදුවීමෙන් මියගිය සියලුදෙනාම මා මේ අවස්ථාවේ ඉතාමත්ම සංවේගයෙන් යුතුව සිහිපත් කරනවා. පසුගිය දින 21ක පමණ කාලය තුළ රටේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව තමාගේ දෛනික කටයුතු සහ රටේ සංවර්ධනය සියල්ල අමතක කරමින් මේ ත‍්‍රස්තවාදී සිදුවීම පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. මා විශ්වාස කරනවා. ඒ අනුව “රටම එකට සිටිමු” කියන තේමා පාඨය අද දවසේ ඉතාමත් වැදගත් වෙනවා කියලා.

අම්පාර දිස්ත‍්‍රික්කය අපේ රටේ සංවර්ධනයේ දී ඉතාමත් ප‍්‍රමුඛ ප‍්‍රදේශයක්. රටේ සහල් නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ නිෂ්පාදනය වෙන්නේ මේ ප‍්‍රදේශයෙන්. ඒ වගේම ශ්‍රේෂ්ඨ හා විශිෂ්ට ඓතිහාසික පසුබිමක් දිගාමඩුල්ල භූමියට තිබෙනවා. ඒ නිසා එවැනි ශ්‍රේෂ්ඨ බිමක සිට රටම එකට සිටිමු යන තේමාව යටතේ ඔබටත්, රටටත් කතා කරන්න ලැබීම ගැන මා මේ අවස්ථාවේ සතුටු වෙනවා.

ලෝකයේ ඕනෑම රටක ජනතාවට තමාගේ රටේ විවිධ ජාතික ප‍්‍රශ්න ඇතිවෙනවා. ජාතික අභියෝග ඇතිවෙනවා. ජාතික ඛේදවාචකයන් ඇතිවෙනවා. ඒ සැමවිටම වැදගත් වන්නේ රටේ සියලු දෙනා එකට සිටීමයි. අපි කොතෙක් එකට සිටිමු කියලා කිව්වත් අපේ රට අද බෙදිලා. පක්ෂ වශයෙන් බෙදිලා. මහා ජාතික ව්‍යසනයක් රටට සිද්ධ කරලා තියෙනවා. රට ගැන නොසිතන බොහෝ වේලාවට තමාගේ පක්ෂය ගැන තමාගේ බලය ගැන කතා කරන්න අපි පුරුදු වෙලා තිබෙනවා. අපි ආගම් අනුව මේ රටේ බෙදීම් ඇතිකරගෙන තිබෙනවා. අපි කතාකරන භාෂාව අනුව බෙදීම් ඇතිකරගෙන තිබෙනවා. අපි ඉතාමත් පහත් විදියට කුලවාදය අනුව බෙදීම් ඇතිකරගෙන තිබෙනවා. ඒ සියල්ලටම වඩා විශාලයි නැතිබැරිකම ඇති හැකි අය අතර ඇතිවෙලා තිබෙන බෙදීම සහ වෙනස්කම.

අපි දන්නවා බෞද්ධ දර්ශනය ඉතාමත් විශිෂ්ට දර්ශනයක් කියලා. ඒ වගේම තමයි කිතුනු දර්ශනයත් ලෝකයේ තිබෙන විශිෂ්ටම ආගමික අධ්‍යාත්මික දර්ශනයක්. ඒ වගේම තමයි ඉස්ලාම් දර්ශනය ලෝකයේ යහපත් ආධ්‍යාත්මික දර්ශනයක්. ඒ වගේම තමයි භගවත් ගීතාවේ කියැවෙන හින්දු දර්ශනයත් උසස් අධ්‍යාත්මික දර්ශනයක්. අපි සැබෑ ලෙසම හිතන්න ඕන මේ ආධ්‍යාත්මික දර්ශන තුළද අපි කටයුතු කරන්නේ කියලා. ඒ ආධ්‍යාත්මික දර්ශනය තුළ අපි කටයුතු කරනවානම් කොහොත්ම බෙදෙන්නේ නැහැ. අපි ආගමික දර්ශන කියවනවා විතරයි ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිපදින්නේ නෑ ඒ නිසයි අපි බෙදෙන්නේ. මේ දිස්ත‍්‍රික්කයේ වැඩි ජනගහනයක් සිටින්නේ මුස්ලිම් ජනතාව 44% ක්. මේ දිස්ත‍්‍රික්කයේ දෙවන ජනගහනය සිංහල ජනගහනය 38% ක්. ඒ වගේම මේ දිස්ත‍්‍රික්කයේ 17.6% ක් දමිළ ජනතාව.

මං ඔබේ හෘද සාක්ෂියෙන් අවංකවම ප‍්‍රශ්නයක් අහනවා. ඔබ ඇත්තටම මෙහෙම වාඩිවෙලා සිටියත් ඔබේ අවංකවම ජාතීන් තුනේ එකඟත්වයක් සැබෑ ලෙසම හිත්වල තිබෙනවද කියලා. අපේ රටට ත‍්‍රස්තවාදය හොඳට හුරුයි. අපි 80 දශකයේ සිට 2009 වෙනකම් අවුරුදු 30කට ආසන්න කාලයක් එල්ටීටීඊ ම්ලේච්ච ත‍්‍රස්තවාදයෙන් බට කෑවා. අපි අවුරුදු 30 ක් බෝම්බත් එක්ක ජීවත් වුණා. මට කලින් ජනාධිපතිවරු පස්දෙනෙක් මේ රටේ හිටියා. මම හයවෙනි ජනාධිපති කියලා ඔබ දන්නවා. මේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අති බහුතරයක් මාව ජයග‍්‍රහණය කරන්න වැඩි ඡන්ද ලබාදුන්නා. මට කලින් හිටපු ජනාධිපතිවරු පස්දෙනාගෙම කාලේ මේ රටේ බෝම්බ පිපිරුවා. ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයට එනකන් එකදිගට බෝම්බ පිපිරුවා. සමහර සති තිබුණා දිනපතා බෝම්බ පුපුරනවා. අපේ රණවිරුවෝ ම්ලේච්ච ත‍්‍රස්තවාදය පරාජය කෙරුවා. රටේ සාමය ඇතිකළා. ඒ ම්ලේච්ච ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පහකට මුහුණ දුන්න කෙනෙක් මං. මාව මරන්න ආපු ත‍්‍රස්තවාදියා අධිකරණයෙන් වැරදි වෙලා ජීවිතාන්නතය දක්වා හිරේ ඉන්න කොට මං ඔහුට සමාව දීලා හිරෙන් නිදහස් කළා මං. ඇයි මම එහෙම කළේ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නිසා. නහි වේරේන වේරානි සම්මන්තී ද කුදාචනං. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනාතනෝ. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ කියලා අපේ බුදුන් වහන්නේ දේශනා කළා. අනික් ආගමික දර්ශනවලත් කියනවා කාටවත් වෛර කරන්න එපා කියලා. එහෙනම් ඇයි අපි අතර සමඟියක් නැත්තේ. ඇයි අපි විශ්වාස කරන්නේ නැත්තේ අපිව. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අතර මේ සැකය, බිය සහ අවිශ්වාසය ඇයි? ඒ අපේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන නොදියුණුකම. අපි දියුණු මිනිස්සු වෙන්න ඕන. අපේ ආගමික දර්ශන අනුව අපි ප‍්‍රතිපත්තිමය ජීවිතයක් ගතකරන්න ඕන. අපිට එවිට සෑම අභියෝගයකටම මුහුණ දෙන්න පුළුවන්. ලෝකයේ ත‍්‍රස්තවාදය කියන එක කිසිම තැනක පැවතිලා නැහැ. ත‍්‍රස්තවාදය සැමවිටම අස්ථිරයි. විනාශ වෙනවා. 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගුවන් යානා දෙකක් ගිහිල්ලා විනාස කරා. 2700 කට වඩා මියගියා.

ඇමරිකාවට අදත් කියන්න බැහැ, කී දෙනෙක් මැරුණ ද කියලා. ඇමරිකාවේ ප‍්‍රධාන ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට බෝම්බ දැම්මා. ඇමරිකාව කියන්නේ අපි වගේ දුප්පත් රටක් නෙවෙයි සියලු අධිතාක්ෂණයෙන් ඉහළම යුදමය ශක්තියෙන් ඉහළම රට. ත‍්‍රස්තවාදීන් යුරෝපීය රටවල් සියල්ලන්ටම පහරදුන්නා. මේ වගේ පිපිරීම් රුසියාවේ කළා, අමරිකාවේ කළා, කැනඩාවේ කළා, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, මෙහෙම පිපිරීම් කළා. ඒ පිපිරීම්වලින් පසුව ඒ රටවල පාලකයෝ රටවල් යථා තත්ත්වයට පත්කර ගත්තා. මේ ත‍්‍රස්තවාදීන් මෙහෙම පහරදීලා පිපිරීම් කරලා, මිනිස් ජීවිත විනාශ කරනකොට ඒ රටවල කවුරුවත් ඒ රටේ නායකයාට කීවේ නැහැ උඹ අස්වෙලා ගෙදර පලයන් කියලා. ඒ රටේ නායකයින්ට ජනතාව කීවේ ත‍්‍රස්තවාදීන්ට ගහලා ඉවරකරපන් කියලා.මේ ත‍්‍රස්තවාදී සිදුවීම් නිසා මමත් පස්සට යන්නෙත් නැහැ, මම බයවෙන්නෙත් නැහැ, මම ගෙදර යන්නෙත් නැහැ, මම ගහලා ඉවර කරනවා මේ ත‍්‍රස්තවාදීන්ට. අපේ ත‍්‍රිවිධ හමුදා , පොලිසිය බුද්ධි අංශ මේ දින 20ක කාලය තුළ මේ ත්ත්වය හොඳින් කළමනාකරණය කළා.

අපේ යුද හමුදාව, නාවික, ගුවන්, පොලිස්, බුද්ධි අංශ ඉතාමත් විශිෂ්ට ලෙස කටයුතු කළා. ඒ නිසා මේ සාමකාමී තත්ත්වය ඇතිකර ගැනීම පිළිබඳව සම්පූර්ණ ගෞරවය ත‍්‍රිවිධ හමුදාවටත් පොලිසියටත්, බුද්ධිඅංශ වලටත් දිය යුතුයි. ත‍්‍රස්තවාදී සිදුවීම් වුනාම රටේ වැඩ අපි නවත්වනවාද. රජයේ කාර්යාල වහලා අපි ගෙදර ඉන්නවද.පාසල් වහලා ගෙදර ඉන්නවද. කම්හලේ, ෆැක්ටරියේ වැඩ නවත්වනවද, ව්‍යාපාරික කටයුතු නවත්වනවද, එහෙම නම් ත‍්‍රස්වාදීන් ජයග‍්‍රහණය කරනවා. ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න අපේ දෛනික සියලු කටයුතු අපි අඛණ්ඩව කරන්න ඕන. අපේ , ති‍්‍රවිධ හමුදාව, පොලිසිය බුද්ධි අංශ, ඉතාමත් හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් රටේ ක‍්‍රියාත්මක කරනවා. ඒ ආරක්ෂක වැඩපිළිවෙළට ඔබේ සම්පූර්ණ සහයෝගය දෙන්න, ඔවුන් එක්ක එකට එකතු වෙන්න. මම මේ රටේ ත‍්‍රිවිධ හමුදා, පොලිසිය, සහ බුද්ධි අංශ කෙරෙහි විශ්වාසය තබනවා. ඔවුන් හොඳින් බලා ගනීවි ඔබව. 21 දා සිදුවූ සිදුවීමට වගකිව යුතු අයට විරුද්ධව මම නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නවා. මේ වගකීම් පැහැර හැරියේ කවුද කියලා හොයන්න මම ශ්‍රේෂ්ඨාධිකරණ, විනිශ්වකාරතුමන්ලගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා.

ඔවුන් අතුරු වාර්තා 2ක් දීලා තිබෙනවා. ලබන සතියේ ඔවුන් අවසන් වාර්තාව ලබා දෙයි. එයින් වගඋත්තරකරුවන් වන ඕනැම කෙනෙකුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරනවා. මේ ජීවිත විනාශකිරීමේ වගකීම ඔවුන් භාරගත යුතුයි.

අපි අද ආවේ තමුන්නාන්සේලා ග‍්‍රාම ශක්ති වැඩසටහන ඇතුළු අනෙකුත් සංවර්ධන කාර්යයන් රාශියක් පිළිබඳව සේවාවන් ඉෂ්ට කරන්න. පහුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ අපි රජයක් විදියටත් ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ රටේ සංවර්ධන කාර්යයන් වල සේවාවන් ලබා දෙන්නයි. ග‍්‍රාම ශක්ති වැඩපිළිවෙළ, මත්ද්‍රව්‍ය මර්දනය, දරුවන් සුරකිමු වැඩසටහන, පරිසරය සංරක්ෂණය, තිරසර සංවර්ධනය, වකුගඩු රෝගීන් සඳහා ව්‍යාපෘති ස්මාට් ශ‍්‍රී ලංකා ඇතුළු අලුත් වැඩ සටහනත් එක්ක. මේ වැඩසටහන්වලින් පහුගිය සති දෙක තුන තුළ පමණක් රුපියල් කෝටි පනහකට වැඩිය මේ දිස්ත‍්‍රික්කයේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ සංවර්ධන කටයුතු අපි අඛණ්ඩව ඉස්සරහට ගෙනියනවා. මේ රට හොඳ රටක් කරනවා. මේ රට තුළ ස්ථිර සාමයක් ඇති කරනවා. දේශපාලන කුහකකම් තිබෙන අයට තිබෙනවා වෙන වෙනම න්‍යාය පත‍්‍ර. මේ රටේ අවාසනාවකට සමහර අය ඉන්නවා බෝම්බ පුපුරවනවට කැමති අයත්. ඒ දේශපාලන අවස්ථාවාදියෝ දේශපාලන කුහකයෝ. ඔවුන් පරාද කරළ අපි හැමකෙනෙක්ම එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරමු.

අපේ සියලුම දෛනික කටයුතු අපි හොඳින් කරමු. ආරක්ෂක හමුදා එක්ක රටේ සාමය ස්ථාපිත කරමු. ශක්තිමත් කරමු. ඒ වගකීම මම ඉතාම හොඳින් ඉෂ්ට කරනවා ඔබ වෙනුවෙන්. ඔබ අප සියලු දෙනා හොඳ රටක් වෙනුවෙන් කැපවෙමු. අපිට අධිෂ්ඨානයක් තියෙන්න ඕන. ආත්ම ශක්තියක් තියෙන්න ඕන, ඕනම අභියෝගයක් අපි ජයග‍්‍රහණය කරන්න ඕන. මේ රට යහපත් සාමකාමී රටක් කිරීමේ වගකීම මම අවංකවම ඉෂ්ට කරනවා.මේ වැඩසටහනට මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන් ඔබ සෑම කෙනෙකුගෙන්ම ලැබුණු සහයෝගය, අනුග‍්‍රහය කැපවීම මම අගය කරනවා.

මම මේ වැඩසටහන මීළඟට බලාපොරොත්තු වෙන්නේ මුලතිව් දිස්ත‍්‍රික්කේ පවත්වන්න. විශේෂයෙන්ම සංවර්ධන වේගය අඩුවෙන් පවතින දිස්ත‍්‍රික්කවලටයි මම යන්නේ. අපි පුත්තලම, මඩකලපුව තෝර ගත්තෙත් ඒ අනුවයි. ඒ නිසා ඔබට හොඳ වාසනාවන්ත අනාගතයක්, හොඳ හෙට දවසක් මම උදා කරනවා. ඒ සඳහා සියලු අංශවල සහයෝගය තිබෙනවා.මේ රටේ සංවර්ධන බලකාය කියන්නේ ලක්ෂ 16යක රාජ්‍ය සේවය. ඒ ලක්ෂ 16යේ සේවය නිසි ලෙස ඉෂ්ට වීම ඉතාමත් අවශ්‍යයි, රටේ සංවර්ධනයට. ඒ ලක්ෂ 16 පසුගිය කාලයටත් වඩා කාර්යක්ෂමව වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි.

ඒ සඳහා ආයතන ප‍්‍රධානින් නායකත්වය දෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා ඉල්ලනවා. මම උහන මහා විද්‍යාලයට පැමිණි 4වන අවස්ථාව. මීට කලින් මම දවස් 3ක් ඇවිත් තියෙනවා ඒ උසස් පෙළ විභාගය ලියන්න. මේ පාසලට ආපු වේලාවේ මම පාසල වෙනුවෙනුත් යමක් දෙන්න ඕන. තව මාසයක් ඇතුළත ඔබේ මේ උහන මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වෙනවා. ඒ වගේම ඔබේ පාසලේ සංවර්ධන කටයුතු සඳහා මම ඉදිරි සතියේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් එවන බව ප‍්‍රකාශ කරනවා. ඔබ සියලුදෙනාටම ස්තුතියි.