මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉකුත් 07 වැනිදා (2019-05-07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද පරිදිම රාජ්‍ය නායකයා ලෙස ඔහු මුහුණ දී සිටින්නේ මෙරටේ කිසිදු රාජ්‍ය නායකයකු මුහුණ දී නොමැති බිහිසුණු සාපරාධී අභියෝගයකට ය.

එය වූ කලී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තෙක් ඇදී ගිය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට වඩා ඉඳුරා වෙනස් ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයක මූග්ධ සාහසිකත්වයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරන ලද පරිදි මේ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් ප්‍රජාවට හෝ මුස්ලිම් ජනතාවට හෝ සම්බන්ධයක් නැති අන්තවාදී ආගමික උමතුවක කුරිරු ප්‍රකාශනයකි.

එහෙත් ඒ ත්‍රස්තවාදය මුස්ලිම් ආගමික ගැබ උපත ලද බවත්, අනතුරුව මුස්ලිම් ආගමික උන්මන්තකයන්ගේ දුෂ්ට ව්‍යාපාරයක් බවට පත්වූ ආකාරයත් දැන් හෙළි වී තිබේ. මේ වන විට අනාවරණය වී තිබෙන පරිදි ඒ බොහෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් පමණක් නොව වෙනත් මුස්ලිම් ජන කොටස් හා සංවිධානවල ආධාර උපකාර ද ලැබී තිබේ. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය උදව් උපකාර ද ලැබී ඇත. එහෙත් ඒ සියල්ල අන්තවාදී කල්ලියක විකෘති ප්‍රචණ්ඩත්වයක් ලෙස විනා බලය හා වෙනත් දේශපාලන අරමුණක් සහිත ව්‍යාපාරයක් නොවන බව ද අප වටහා ගත යුතුය. ජාතික තව්හිද් ජමාත් සංවිධානය ගැන වැඩි පිරිසක් දැන ගත්තේ ද පාස්කු ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ ය.

ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට වැරදි වුවද දේශපාලන අරමුණක් තිබුණි. මේ රට විනාශ කළ කුරිරුම ත්‍රස්තවාදියා ලෙස ප්‍රභාකරන් අන්තර්ජාතික ව ද කුප්‍රකට ව සිටි අයෙකි. ඔහුගේ ම්ලේච්ඡ ප්‍රහාර වලට ආගමික සංහාර, බෞද්ධ හා වෙනත් ආගමික ස්ථාන ඉලක්ක වූ බවද රහසක් නොවේ. ජය ශ්‍රී මහා බෝධිය, මහනුවර දළඳා මාළිගාව වැනි බෞද්ධ කේන්ද්‍රස්ථානවලට පහරදුන් කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය ලොවට ම ප්‍රකාශ වූ අරන්තලා භික්ෂු ඝාතනය ද මෙහිදී සිහිපත් වේ.

කෙසේ හෝ එබඳු දේශපාලන හෝ බල අරමුණකින් තොරව ක්‍රියාත්මක වන මේ මුස්ලිම් ආගමික උමතුව අද ලෝකයට ම තර්ජනයක් වී තිබේ. 2001 සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ඇල්කයිඩා ප්‍රහාරය මේ ආගමික ත්‍රස්තවාදයේ භීෂණත්වය පිළිබඳ බරපතලම අඳුරු මතකයකි. ලෝක පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමෙරිකාව ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක්ද වේ. තම රටට උඩින් කපුටකුට වුවද නොදැන පියාසර කළ නොහැකි බවට උදම් ඇනූ ඇමෙරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ් ඒ ප්‍රහාරයෙන් අන්දමන්ද වූ බව ද කියති. නවීන තාක්ෂණය හා යුද සැලසුම් පිළිබඳ හාස්කම්වලින් පිරුණු රාජ්‍යයක ආරක්ෂක මූලස්ථානය ලෙස ප්‍රකට පෙන්ටගනය ද එදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්විය. මේ ප්‍රහාර එල්ල වන විට බුෂ් ෆ්ලොරිඩාවේ පැසැලක දරුවන් සමඟ විවේකී ව සිට ඇත. මේ ප්‍රහාරවලින් එදා ඇමෙරිකානු නායකයා වූ බුෂ් කෙතරම් කම්පනයකට පත්ව සිටියේද යත්, පසුව ඔහු ඒ ප්‍රහාරය ගැන කළ සඳහනකදී කියා තිබුණේ ඒ අසුබ ආරංචිය මා වෙත ලැබුණු මොහොතේ ම මගේ මුවින් පිට වූයේ “දෙවියනේ මගේ රට” යන වචන කීපය බව ය.

අප්‍රේල් 21 වනදා ලංකාවට ඒ සාහසික ප්‍රහාරය එල්ල වූ පුවත සැලවූ සැණෙකින් ම තමන් තුළද ඉමහත් කම්පනයක් ඇති වූ බවත් ඒ ප්‍රහාරය කුමක්ද? කුමක් නිසාද? යන්න තේරුම් ගත නොහැකි බවත් මෛත්‍රී ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. සැබවින් ම මෙවන් ත්‍රස්ත ප්‍රහාරයක් මෙරටේ කිතුනු ජනතාවගේ සුවිශේෂ දිනයක් වූ පාස්කු ඉරිදාවක එල්ලවීම කිසිවකුට හෝ වටහා ගත නොහැකි උභතෝකෝටිකයක් වීම පුදුම නැත. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ මොහොතේ සිට ම ඒ ප්‍රහාරයේ උපත සෙවීමටත්, රටේ ආරක්ෂක ප්‍රධානීන් සමඟ අවශ්‍ය අාරක්ෂක විධි විධාන යෙදීමටත් පියවර ගෙන තිබුණි. ඇත්ත වශයෙන් ම ජනාධිපතිවරයා විසින් ක්ෂණික ව හා විචක්ෂණශීලී ව ගන්නා ලද ප්‍රායෝගික හා ඥානාත්මික විධි විධාන වල සාර්ථකත්වය නිසාම ඉතා ඉක්මනින් ම රට හා ජනජීවිත යථා තත්වයට පත් වූ බවද නිසැක ය. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුතු සියල්ලන් ම පාහේ අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඒ ක්‍රියාදාමය මෙහෙයවූ අයගේ ගිණුම් වත්කම් ඇතුළු සියලු තොරතුරු ද මේ වන විට අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වීම ද විශාල ජයග්‍රහණයකි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ පූර්ණ විස්තතරයක් ද ඉදිරිපත් කර තිබේ. ඒ සම්පූර්ණ කතාව විවේක බුද්ධියෙන් කියවන කවරකුට වුව ද පසක් වනු ඇත්තේ පාස්කු ඉරිදා අපේ රටට එල්ල වූ ඒ උමතු ප්‍රහාරයේ භීෂණත්වය පමණක් නොව ඒ පිළිබඳ ලෝක චිත්‍රයයි. ලෝකයේ කිසිදු බලගතු රාජ්‍යයකට වුවද එබඳු ප්‍රහාරයකට එරෙහිව ගත හැකි නිශ්චිත ආරක්ෂක පියවරක් නොවූ බව ය. අන්තර්ජාතික ත්‍රස්තවාදය මැඬලීමේ අභියෝගය සුළු පටු එකක් නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි.

2018 නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකාරත්වය ලැබූ නාදියා මුරාද් මේ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳ කළ විවරණයක් සමාජ වෙබ් අඩවියක දක්වා තිබුණි. නදියා ඉරාකයේ දුෂ්කර ගමක උපත ලද සාමාන්‍ය දරුවෙකි. ගෝත්‍රික ගම්මානයක් වූ එහි මුස්ලිම් ජාතිකයෝ නොවූහ. එහෙත් මුස්ලිම් අන්තවාදීහු ඇගේ ගම වැනසූහ. ඇගේ ගමෙහි කාන්තාවන් පිරිසක්ද එදා මේ ත්‍රස්තවාදීන්ට හසු වූ අතර නාදියාට ද ඔවුන්ගෙන් ගැලවීමක් වී නැත. මේ ආකාරයට ස්ත්‍රීන් පැහැර ගැනීම ඔවුන්ගේ ආගමික උන්මාදය සමඟ බඳුණු සල්ලාල ක්‍රිඩාවක් බවට පත්ව තිබුණු බව ද ඇගේ අනාවරණයකි. මේ වර්ගයේ ම්ලේච්ඡ ප්‍රතිචාර ඉස්ලාම් දහමේ නාමයෙන් සිදුවීම කෙබඳු විකෘතියක්දැයි ඇය ප්‍රශ්න කර ඇත. කුරාණය හා මුස්ලිම් සංස්කෘතිය ස්ත්‍රිත්වයට දක්වන ව්‍යාජ ගෞරවය ඇගේ කෝපයටද හේතු වූ බව නිසැකය. පසුගියදා මෙරටේ ඇති වූ පාස්කු ඛේදවාචකයේදීත් මෙබඳු ම අධම පුවතක් අනාවරණය වී තිබුණි. කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිය පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා වූ අතර ඇය සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී බෝම්බයක් පුපුරවා මිය ගිය බව මුලින් වාර්තා විය. සාරා මේ ත්‍රස්තවාදී ක්‍රියාන්විතයට එක්ව ඇත්තේ පැහැර ගැනීමක් නිසා බව ඇගේ මව පවසන්නී ය. හින්දු ප්‍රභවයක් සහිත තරුණියක වූ ඇයට මුස්ලිම් නමක් දී ඇත්තේ ද ඒ ත්‍රස්ත කල්ලිය විසිනි. ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී ඇය මේ විපතට ගොඳුරු වූ බව ඇගේ මව සඳහන් කර ඇත. මෙයින් තහවුරු වන්නේ එදා කොටි සංවිධානයට අහිංසක තරුණියන් පැහැර ගත් ආකාරයට ම මුස්ලිම් අන්තවාදීන් විසින්ද ක්‍රියා කර ඇති බවය. කුමක් වුවත් එදා සයින්දමරුදු පිපිරීමේදී සහරාන්ගේ බිරියගේ හා දරුවාගේ ජීවිත ආරක්ෂා වී තිබුණි. මේ සියලු තොරතුරු වලින් හෙළි වන්නේ ආණ්ඩුව හා ආරක්ෂක අංශ වලට රහසින් මේ මුස්ලිම් අන්තවාදය උඩුදුවමින් තිබුණු බව ය. ඉස්ලාම් අන්තවාදීන් නිහඬ අවකාශයක් තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ය.

මේ වන විට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙම ආගමික උන්මාදයේ බොහෝ තොරතුරු ද අනාවරණය වී තිබේ. ඉස්ලාම් මූලධර්මවාදය හා කුරාණය අහසට පොළොව මෙන් දුරස්ථ වූවක් බව මුස්ලිම් ආගමික ප්‍රධානීහු කියති. එහෙත් මුස්ලිම් අන්තවාදය මෙසේ පුපුරා යන තෙක්ම කිසිවෙක් ඒ පිළිබඳ ව කතා නොකළ බව ද අපි සඳහන් කළ යුතුය. කුමක් වුවත් ඉස්ලාම් මූලධර්මවාදය පිළිබඳ අද ඇසෙන සුලබ විවේචන හා ඝෝෂා වලට අමතරව කිසියම් විද්වත් සංවාදයක හිඟයක් ද තිබේ.

එහෙත් එබඳු විරල සංවාදයක් පසුගිය දිනක අපට ඇසුණි. එහිදී සඳහන් වූයේ මුස්ලිම් සංස්කෘතිය හා කුරාණය පිළිබඳ අන්තවාදී න්‍යාය ඉදිරියට පැමිණ තිබෙන බව ය. දෙවියන්ගේ නාමයෙන් කෙරෙන යුද්ධ, දිවිපිදීම් හා අන්ධ විශ්වාස ජන මනස තුළ පහසුවෙන් ම කිඳා බැස තිබෙන බව ද එහිදී ප්‍රකාශ විය. පාස්කු ඉරිදා විනාශය සඳහා පවුල් පිටින් සහභාගි වීමෙන් එය තහවුරු වී අතැයිද එහිදී දැක්විණි. ස්වර්ගයට යෑමේ මාර්ගය ලෙස විනාශය හා ඝාතනය හැඳින්වීම වරදක් බවත් එයින් තම අනුගාමිකයන් ගලවා ගැනීමේ වගකීම මුස්ලිම් ආගමික නායකයන් සතු වගකීම බවත් එහිදී කියැවුණි.

කෙසේ හෝ මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන ඇතැම් මුස්ලිම් දේශපාලන චරිත පිළිබඳව ද නොයෙක් චෝදනා නැඟෙයි. නිලය හා බලය ඒ අන්තවාදීන්ගේ අරමුණු උදෙසා යොදා ගෙන ඇති බව ද සමහරු කියති. මුස්ලිම් සමාජයේ සංස්කෘතික වටිනාකම්, පොදු සමාජය තුළට ඇතුළු කිරීමට බොහෝ විට දේශපාලන නායකයන්ගේ අනුග්‍රහයද ලැබී ඇති බව රහසක් නොවේ. ඉස්ලාමීය ප්‍රභූ කාන්තාවන්ට සුවිශේෂ අනන්‍යතාවක් දෙන ඇඳුම ලෙස බුර්කාව පිළිගෙන තිබේ. කලකට ඉහත සිංහල ජනතාව අතර ජීවත් වූ මුස්ලිම් පවුල්වල කාන්තාවන් එබඳු මුහුණු ආවරණය සහිත සුවිශේෂ ඇඳුමක් භාවිත නොකළ බව ද අපි දනිමු. එහෙත් මුස්ලිම් සමාජයට ආවේණික සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා විය යුතුය වැනි අදහස් ක්‍රම ක්‍රමයෙන් අන්තවාදයක් කරා යොමු වූ බවට කෙරෙන විවේචනය ද බැහැර කළ නොහැකිය. ශරියා නීතිය සම්බන්ධයෙන් උද්ගත වූ ආන්දෝලනාත්මක සංවාදය අපට මතක ය. ඒ පිළිබඳ ව මෙන්ම බුර්කාව සම්බන්ධයෙන් ද සිංහල සමාජය විරුද්ධ විය. බටහිර සංස්කෘතික ආක්‍රමණයට මුහුණ දීමට මුස්ලිම් සමාජය දක්වන උනන්දුව ද කැපී පෙනේ. ඉස්ලාම් මූලධර්මවාදය එයට ප්‍රබල පිළිතුරක් ලෙස වැඩුණි.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ කැපවී සිටින ඇතැම් පිරිස් වලින් ද ඉස්ලම් අන්තවාදයට අනියම් ආකාරයකින් අනුබල ලැබී ඇති බව අද තහවුරු වී ඇත. මද්‍රසා නමින් පැතිර ගිය ආගමික ඉගැන්වීම් කරන පාසල් විශේෂය නිදහසේ වර්ධනය වූයේද ඒ අනුව බව සමහරු චෝදනා කරති. මේවා පිළිබඳ කිසිදු නියාමනයක් සිදු නොවු අතර ඒ පාසල් සඳහා විශේෂ දේශකයන් ලෙස විශාල පිරිසක් මෙරටට පැමිණ ඇති බවද හෙළි වී තිබේ. බොදු දහම් පාසැල්වල බුදු දහම හා බොදු සම්ප්‍රදාය ඉගැන්වෙන ආකාරයට මේ මද්‍රසා පාසැල්වල ආගමික ශික්ෂණයක් ලබා දී නැති බවට චෝදනාවක් තිබේ.

වතුකරයේ එක් පාසැලක ඉතා සීමිත මුස්ලිම් සිසුන් සංඛ්‍යාවක් සිටියත් සමස්ත දෙමළ සිසුන්ට ම අදාළ ව දේශන පැවැත්වු බවද අද අනාවරණය වී තිබේ. මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒ මද්‍රසා පාසැල් වලට ඉවක් බවක් නැතිව අවකාශ සලසා දුන් බව ද කියති. විදේශීය පූජකවරුන්ගේ සේවය ලබා ගත් මද්‍රසා පාසල් මෙන්ම අරාබි විද්‍යාල විශාල සංඛ්‍යාවක් තිබෙන අතර අම්පාර, කුරුණෑගල, ගාල්ල, මහනුවර හා කොළඹ දිස්ත්‍රික්කවල ද ඒවා පිහිටුවා ඇතැයිද කියති. ඒවා විවිධ ඉස්ලාමීය නිකායන්ට අයත් බවද හෙළිවී තිබේ. නම සඳහන් කළ නොහැකි විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ එක් විද්වතෙක් මේ ලියුම්කරු සමඟ ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයේ සංස්කෘතික වටිනාකම් සුරැකීම සඳහා තව්හිද් ජමාත්, වාහබ් වැනි සංවිධාන බිහි වී ඇති බව ය. එසේම මේ සංවිධාන වලට සෞදි අරාබියෙන් ආධාර ලැබෙන බවද දැන් හෙළි වී ඇත.

එපමණක් නොව මුස්ලිම් පල්ලි ඉදිකිරීමට ද සෞදි අරාබිය උදව් කරන බව ප්‍රකට රහසකි. කාන්තන්කුඩියේ ඉදිවූ පල්ලිය එයට නිදසුනකි. නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉදිකිරීම පසු පස තිබෙන විවේචන හා ඒ සඳහා නැගෙනහිර ආණ්ඩුකාර ඉස්බුල්ලා මහතාගේ මැදිහත්වීම් ගැන ද සමහරු ප්‍රශ්න නඟති. මද්‍රසා පාසල් හා නැගෙනහිර විශ්වවිද්‍යාලය ගැන සැක සංකා මතු වී තිබුණත් ඒවා හා පසුගියදා ඇති වූ පාස්කු ප්‍රහාරය සමඟ කිසිදු සබඳතාවක් නැති බව මුස්ලිම් විද්වත්හු කියති. එහෙත් මේ මද්‍රසා හා අරාබි බස ඉගැන්වූ බව කියන පාසල් විශාල වශයෙන් ව්‍යාප්ත වීම ප්‍රශ්නයකි. ඒවාට ලැබුණු විදේශ ආධාර පිළිබඳ ව හෝ ආණ්ඩුවේ අවධානය යොමු නොවීම ඊටත් වඩා ප්‍රශ්නයකි. මේ අතර විවාදිත මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයට කිසිදු නීත්‍යානුකූල අනුමැතියක් ලබා දී නැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර තිබුණි. කුමක් වුවත් මේ ත්‍රස්තවාදයේ තිඹිරිගෙය බඳු නැගෙනහිර පළාතේ සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා මේ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති අනුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු බවට යෝජනාවක් ද කර තිබුණි. එසේම විශ්වවිද්‍යාලයේ පාඨමාලා සියල්ල අදාළ නීති රීති අනුව සකස් විය යුතු බවට අවධාරණයක් ද කළේය. එය ඒ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදයට හේතු වන්නක් බව නිසැක ය.

දැන් අපි පාස්කු ඉරිදා ලෙයින් නැහැ වූ ඒ ඛේදවාචකයේ අමිහිරි මතක මතින් මිදී ඒ වේදනාවන්, සමනය කර ගනිමින් හෙට දවසට මුහුණ දීමේ බුද්ධිමත් හෝරාව වෙත එළඹෙමින් සිටිමු. බිහිසුණු නිද්‍රාවක ගල්වී සිටින අපගේ ආධ්‍යාත්මයට මනුෂ්‍යත්වයේ හා ආදරයේ අභිනව ප්‍රාර්ථනා එක් කර ගැනීමට ද කෙමෙන් පියවර ගත යුතුව තිබේ. මුස්ලිම් අන්තවාදයේ උන්මන්තක භ්‍රෂ්ටයන්ට අපගේ මේ මාතෘභූමිය තුළ යළි විපතක් කිරීමට මඳ හෝ අවකාශයක් නොතැබීම අපගේ පළමු ජාතික වගකීම බව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජන කොටස් විසින් ම පළමුව තේරුම් ගත යුතුව තිබේ. පොදු ජන ජීවිත යාථාවත් කිරීමට මෙන්ම ජනමනස තුළ තැන්පත් වූ භීතිය හා සැකය දුරලීමට ප්‍රමාණවත් භෞතික හා මානසික මෙහෙයුම් ද ක්‍රියාත්මක වී තිබේ. මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් එහිලා ඉටු කරන ලද මෙහෙවර අසාමාන්‍ය විය. අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් ද ඒ සත්කාර්යට මැදිහත්ව සිටිති. ආගම කුමක් වුවත් හැම ආගමක ම අරමුණ ලෞකික වශයෙන් සංහිඳියාව හා සාමය බව බොදුනු, කිතුනු, හින්දු, මුස්ලිම් යන සියලු ආගම් වල නායකකාරකාදීහු අවධාරණය කරමින් ද සිටිති. මෙය අනාගත දේශපාලනය ගමන් කළ යුතු දිශාන්තිය පිළිබඳව ද අලුත් සංඥා නිකුත් වෙමින් තිබේ. පාස්කු ඉරිදා කළු දුමාරය කෙමෙන් පහවෙමින් රට යථාතත්වයට පත්වීම, සාමය අගයන කාගේත් ප්‍රාර්ථනාවයි. ඒ අස්සේ සියුම් දේශපාලන හැලහැප්පීම්ද නැතුවා නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයා රටටත් ජනතාවටත් සහතික වී ඇත්තේ මේ ආගමික උමතුව පරාජය කර සමාජ, ආර්ථික, දේශපාලනය යළි ප්‍රතිනිර්මාණය කරන බව ය. මුස්ලිම් ජනතාවගෙන්ද ඒ සඳහා සාධනීය මෙහෙවරක් ඉටු වේ. ඔවුහු තව්හිද් ජමාත් කල්ලි වලට යළි හිස එසවීමට ද ඉඩක් නොදෙති. අපේ ආරක්ෂක හමුදා වලට දෙසතියක් වැනි සුළු කාලයක් ඇතුළත ඒ විනාශයේ අක්මුල් සොයා ගත හැකි විය. ඔවුන්ගේ කඳවුරු, දේශනා, අවි ආයුධ, වත්කම්, හිමිකම් ඇතුළු බොහෝ දේ ආරක්ෂක අංශ විසින් අනාවරණය කරනු ලැබ ඇත. මෛත්‍රී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවටද ඒ බොහෝ තොරතුරු ඉදිරිපත් කර තිබුණි, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය, පැන්ටගනය ඇතුළු ස්ථාන වලට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයේ වගකිව යුතු නායකයා වු ඔසාමා බින් ලාඩන් විනාශ කිරීමට ඇමරිකාවට ද වසර නවයක් ගත විය. එහෙත් එබඳුම බිහිසුණු ප්‍රහාරයක සුලමුල සොයා ගැනීමට අපේ ආරක්ෂක අංශවලට ගත වූයේ දෙසතියක් වැනි සුළු කාලයකි.

මේ අතර උතුරේ දෙමළ නායකයන්ට ද අපේ ආරක්ෂක අංශවල රැකවරණය අවශ්‍යව තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. දෙමළ සන්ධානයේ සුමන්තිරන් කුමක් කීවත් මාවෙයි සේනාධිරාජා උතුරට හමුදා ආරක්ෂාව අවශ්‍ය බව කියයි. ආනන්දි ශෂිදරන් ද එය අනුමත කර ඇත. මේ විපත දේශපාලන බොරදියෙහි මාළු බෑමක් බවට පත් කර ගන්නා කාටත් එය හොඳ ආදර්ශයකි. රටේ ආරක්ෂක ප්‍රතිපත්ති නිර්මාණය විය යුත්තේ බටහිරට හෝ දෙමළ ඩයස්පෝරාවට හෝ අවශ්‍ය පරිදි නොවන බව මෛත්‍රී ජනාධිපතිවරයා නිතර අවධාරණය කරන්නකි. මානව හිමිකම් සුරැකීම රැකියාවක් බවට පත් වූ රටක හමුදා බුද්ධි අංශ දුර්වල වීම පුදුමයක් නොවන බව ද අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රි ජනාධිපතිවරයා මේ ආණ්ඩුව සමඟ ගැටුණු එක් හේතුවක් වූයේද හමුදා බුද්ධි අංශ දුර්වල නොකළ යුතුය යන ස්ථාවරයයි. ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක්ගෙන් ද එදා රාජපක්ෂ යුගයේ තිබුණු බුද්ධි අංශයට සහතිකයක් ලැබී තිබේ. එනිසා ආරක්ෂක අංශ මෙන්ම බුද්ධි අංශ නොතකා ව්‍යාජ සංහිඳියා හා මානව හිමිකම් ඝෝෂාවලට තවත් අප යට විය යුතු නැති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදිම හැම දෙයකට ම කලින් රට ගැන සිතිය යුතුය. මෙබඳු අර්බුදයකදී එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමට වඩා යථාර්ථවාදී ව බුද්ධිමත් ව එයින් ගොඩ වීමට දේශපාලන, ආගමික, සමාජ සියලු ප්‍රධානීන් වග බලා ගත යුතු බව අපගේද අදහස ය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශයේදීත් එය අවධාරණය කර ඇත.

“තමුන්නාන්සේලාට අපිට දේශපාලනය කරන්න ආණ්ඩු කරන්න රටක් තියෙන්න ඕන. මේ වගේ පුළුල් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇවිල්ලා රටක් විනාශ කරන කොට අපි කොහොමද ඒක රටින් එළියට දාන්නේ කියලා හැම කෙනෙක්ම අත්වැල් බැඳගෙන සමගියෙන් මේ වගකීම් ඉටු කරන්න ඕන.

මම ඉතාම ගෞරවයෙන් සියලු දෙනාගෙන්, සියලු පක්ෂ නායකයන්ගෙන්, සියලු මැති ඇමතිවරුන්ගෙන්, මේ රටේ සියලු ආගමික නායකයන් ඒ සියලු දෙනාගෙන් නැවත, නැවත ඉල්ලා සිටින්නේ මෙවැනි අවස්ථාවක අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කරමු. එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතිව, වැරදිකාරයෝ කියලා එකිනෙකාට දොස් පවරන්නේ නැතිව මේ තිබෙන තත්ත්වය තේරුම් අරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දීලා මේ රටේ ජීවත්වන ජනතාවට සාමකාමී නිදහස් සමාජයක් ගොඩනඟන්න කැපවෙමු කියලා”