චීනයේ බීජිං නුවර පැවති ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-05-15)

ආසියාවේ ශිෂ්ටාචාරය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් පැවැත්වෙන අවස්ථාවේ ඒ සඳහා අප වෙත ඇරයුම් කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂින් ජින්පින් මැතිතුමාටත්, චීන රජයට සහ ජනතාවටත් මගේ ගෞරවණීය ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ දී පුද කරනවා.

ප්‍රධාන වශයෙන්ම ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකිය යන න්‍යාය සහ ප්‍රතිපත්තිය අප කවුරුත් පිළිගන්නා වු දෙයක්. ලෝකයේ ශිෂ්ටාචාර, සංස්කෘතීන්, ජාතින්ගේ අනන්‍යතාවයන් පිළිබඳ සාකච්ඡා සහ සංවාද පැවැත්වෙන අද වැනි දවසක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විදියට මේ සමුළුවට සහභාගිවන අවස්ථාවේ දී මා සිටින්නේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය සහ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ මහා සංස්කෘතිය තවත් නොපෙනෙන ශිෂ්ටාචාරයකට යටපත් කළ හැකි ද කියන ප්‍රශ්නය සමගයි.

මගේ රට කිසියම් වූ රටකට, කිසියම් වු ජාතියකට කිසියම් වූ ශිෂ්ටාචාරයකට, සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස, ඉතාමත් නිදහසේ සාමකාමීව පවතින රටක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එහෙත් අප කිසිසේත්ම අපේක්ෂා නොකළ අන්තවාදී අදහස් කරද කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 21 වන දා අපේ රටේ ඇතිකරන ලද අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සමඟ නැතිවූ ජීවිත විශාල සංඛ්‍යාවක් පිළිබඳව අප සිටින්නේ දැඩි තැතිගැන්මකින් සහ ප්‍රශ්නාර්ථයකින්.

අප කුඩා රටක් වුවත්, කුඩා ජාතියක් වුවත් අපට තිබෙන අනන්‍යතාව, ප්‍රෞඩත්වය වසර පන්දහසකට වැඩි දිගු ඉතිහාසයකින් උරුම වූවක්. නූතන ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම මතයි.

අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජාතින් ජීවත් වෙනවා. ඒ වගේම මගේ රටේ බෞද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම අදහන ලබ්ධිකයින් ජීවත් වෙනවා. විවිධ බලවේගයන් විසින් අපේ ශිෂ්ටාචාරයට, අපේ සංස්කෘතියට එල්ල කරන අභියෝගවලදී සෑමවිටම අප එකාවන්ව අත්වැල් බැඳගැනීම අත්‍යාවශ්‍යයි කියා මම විශ්වාස කරනවා.

විවිධ ගෝලීය අවශ්‍යතා මත අපට අනන්‍ය වු අපේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය විනාශ කළ හැකිද කියන කාරණය ප්‍රධාන වශයෙන් මෙහිලා සැලකිල්ලට ගත යුතුයි. චීනය වැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබෙන රටක මෙවැනි සමුළුවකින් ලබාදෙන ආදර්ශය සහ මඟපෙන්වීම එහිදී ඉතාමත් වැදගත් වෙනවා.

ලෝකයේ ජාතීන් අතර සමඟියත්, සුහදතාවයත්, මිත්‍රශීලීභාවයත් මේ තුළ නැගෙන මනුෂ්‍යත්වයේ හඬට ශක්තිමත් පදනමක් වැටීමට නම් අප සෑම කෙනෙකුටම වෙන් වූ එක් එක් ජාතීන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතින් හඳුනා ගැනීම අත්‍යාවශ්‍යයි කියන එක මම සඳහන් කරන්න ඕන.

ඒ නිසා අද ලෝකයේ ඇති වී තිබෙන විවිධ නොසන්සුන්තාවයන් විවිධ හැලහැප්පිලි, විවිධ ගැටුම්, කෙනෙක් යටත් කරගෙන තවත් කෙනෙක් ගොඩනැගීමට ගන්නා වූ උත්සාහයන් මේ සියල්ලේ දී අප සෑම කෙනෙක්ගේම සංස්කෘතියට, අනන්‍යතාවයට, ශිෂ්ටාචාරයට, ජාතිකත්වයට ගරු කරමින්, පිළිගනිමින් කටයුතු කිරිමේ වැදගත්කම මම අවධාරණය කිරීමට කැමතියි. එම ඇතිකරගන්නා අවබෝධය මත ආසියාකරයේ රටවල් වශයෙන් අප තුළ තිබිය යුතු බැදීම ඉතා වැදගත් කියා මම සිතනවා.

ආසියනු රටවල ශිෂ්ටාචාර සහ සංස්කෘතින් අතර ප්‍රබල බැඳීමක් මම දකිනවා. ආසියාතික රටවල, ශිෂ්ටාචාර සහ සංස්කෘති එක සමාන වූ ගමන් මගක යන බව අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ආසියාතික රටවල් වශයෙන් මේ බැඳීම අපේ එක්සත්කම අපේ සමඟිය සමග ඉදිරියට යාමට උත්සාහ කළ යුතුයි.

ලෝකයේ ඇතිවන විවිධ දේශපාලන වෙනස්කම්, ආර්ථික වෙනස්කම් ඒ සියල්ල අභිභවා එක් එක් ජාතින්ගේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගමන් ගන්නා බව මම මෙහිදී සඳහන් කළ යුතුයි. රටක ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින්, ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කිරීමට කිසිසේත් නොහැකි බවයි මම විශ්වාස කරන්නේ.

ඒ නිසා ඔබ අප සැම කෙනෙක්ම අපට අනන්‍ය වූ ශිෂ්ටාචාරය සහ සංස්කෘතින්ගේ වැදගත් ගති ලක්ෂණ ඔස්සේ මෙවැනි ඉතා වැදගත් සංවාදයක දී අපේ බැඳීම් ශක්තිමත් කර ගනිමින් අපි සෑම කෙනෙකුගේම ගෞරවය, අනන්‍යතාවය ජාතිකත්වය ආරක්ෂා කර ගැනීමට පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය දකිනවා. ආසියාතික රටවල මෙවැනි හමුවීමක් තුළින් එය නිර්මාණය වීම ඉතා වැදගත් කියා මම විශ්වාස කරනවා.

ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර, ආගමික අන්තවාදයන් ඒවා පරාජය කරමින් නිදහසේ සාමකාමීව ජීවත්වන රටවලට තමන්ගේ රටේ අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කරමින් නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වීමට ඔබ සෑම කෙනෙකුගේම සහය අවශ්‍යයි. ප්‍රධාන වශනේම ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදයෙන් බිහිවන ත්‍රස්තවාදයත් ඒවාට මුහුණදෙමින් ඒවා විනාශ කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අතුගා දමමින් අප සැමවිටම ජාතින් වශයෙන් මිත්‍රශීලීව කටයුතු කිරිමේ වැදගත්කමයි මම දකින්නේ.

ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙවැනි සංවාදයකදී ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදය, ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මේ සියල්ල පරාජය කිරීම සඳහා මෙම සමළුවට පැමිණි ඔබ සියලුදෙනාගේම හඬ, එකමුතුව එකඟතාවය ඉතා වැදගත් වනවා. මතවාදය එහ එකමුතුව ඉතාමත් මිත්‍රශීලී එකතුවක් ලෙස චීනයේ ජනාධිපති අතිගරු ෂින් ජින්පින් මැතිතුමාගේ නායකත්වය තුළ ගොඩනැගිය යුතුයි කියා මම යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා.

ඔබ සියලු දෙනාටම ස්තූතියි.