ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන 2019 “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් භාර ගැනීම 2019.05.31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක (300,000.00) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000.00) උපරිමයකට යටත්ව පවතින පොලී අනුපාතයෙන් 50%ක පොලී සහනයක් යටතේ ණය ලබාදෙනු ඇත.
වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන් හට මෙම “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කළ හැකිය.
පරිගණක (ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/අයිපෑඩ්), කැමරා, ෆැක්ස් යන්ත්‍ර සහ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් නිර්දේශ කරනු ලබන මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට හෝ වැඩිදියුණු කර ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දෙනු ඇත.
2017 හා 2018 වර්ෂවලදී පිළිවෙලින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන් 823ක් හා 554 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙහිදී අයදුම් කළ සුදුසුකම් සපුරා ඇති සියළු මාධ්‍යවේදීන් තෝරා ගෙන බැංකුව වෙත ඉදිරිපත් කර ඇත. මෙවර ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
“මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019.05.31 දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යංශය, “ඇසිදිසි මැදුර” අංක 163, කිරුළපන මාවත,පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත් www.media.gov.lk යන වෙබ් අඩවිය මගින් හෝ ‍ දුරකතන අංක 0112513645/0112513459/0112513460 අමතා ලබාගත හැක.