ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි.


අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනපති පවසයි.

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. එමෙන්ම බන්ධනාගාර රැදවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැුවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිතුමා අද දින නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය. ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

බන්ධනාගාර රැදවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන අතර තමා ඝාතනයට කිරීමට පැමිණ, අධිකරණයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි පුද්ගලයාට ද නිදහස ලබාදීමට එතුමා පසුගිය 2016 ජනවාරි 08 වනදා කටයුතු කළේය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලු පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙන්ම, රට තුළ අපරාධ වැඩවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම බවයි.
බන්ධනාගාර රැුදවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබඳ රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා බන්ධනාගාර රැඳවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රැඳවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශිලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.
නිදහස ලබන රැඳවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවි ය.

මේ අතර බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපතිතුමා වෙතින් කළ ඉල්ලීම ඉටුකිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී පියවර ගත්තේය. බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ඔහු මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, තරගාවලියට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව සළසා දෙන ලෙසත් ඔහු ජනාධිපතිතුමා හමුවී ඉල්ලා සිටි අතර නිබන්ධනය සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා අදාළ තරගාවලියට ඉදිරිපත්විමට ඉඩ ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු ඉටුකරදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙත උපදෙස් දුන්නේය.

ඇමතිණි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පිරිස් යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිවි. තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එමෙන්ම රැදවියන් හා සහභාගීවන්නන් සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබු වෙසක් බත් දන්නල විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අද දින නිදහස ලැබු රැදවියන් වෙත ආහාරපාන වලින් සංග‍්‍රහ කිරීමට ජනාධිපතිතුමා එහිදී එක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2019-05-18