තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මගින් මුලිනුපුටා දමා අදට වසර 10 ක් සපිරේ.

ඒ වෙනුවෙන් සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට පැවැත්වීමට නියමිතයි.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වුණි.

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරව ද මේ සමඟ ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙයි.

ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ ඒ අනුව හෙට රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය කරන ලෙසයි.