සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් උත්සවය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ‘සම්බුදු වන්දනා’ වෙසක් උත්සවය මෙවරත් හෙට (19) පස්වරු 5.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේ අබියස දී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා සිය නමකගේ ප්‍රධානත්වයෙන් මෙහි දී බෝධි පූජා පින්කමක් පවත්වා රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කිරීමට නියමිතය.

තිස් අවුරුදු යුද්ධය අවසන් කර රටට සාමය උදා කිරීමේ දස වැනි සංවත්සරය සැමරීමත් රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහෝදර ජනතාවට පින් පැමිණවීම සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සෙත් පැතීමත් සම්බුදු වන්දනා පින්කමේ දී සිදු කෙරේ. මේ අවස්ථාව සඳහා සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටී.