මිනුවන්ගොඩ සිද්ධිය නිරීක්ෂණය කිරීම සඳහා තමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ස්ථානයට ගියේ ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන් දසදෙනා හා පසුගමන් රථ දෙක සමඟ පමණක් බව ද ඊට අමතර කිසිදු අමතර ආරක්ෂාවක් ලබාගෙන නැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ කරුණු තවදුරටත් මෙසේ දැක්වේ.

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පසුගිය 15දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂක ‍තත්ත්වය සොයා බැලීමට මා කළ සංචාරයේදී අනවශ්‍ය ආරක්ෂාවක් යොදාගත් බවට ඇතැම් පුද්ගලයන්, සමහර මාධ්‍ය සහ වෙබ්අඩවිවල අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් තිබේ.

මාධ්‍ය විසින් ප්‍රචාරය කළ රූපරාමුවලින් දක්නට ලැබුණු සියලුම ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක රථ මාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පැමිණි රථ නොව ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණ සිටි ත්‍රිවිධ හමුදාවේ සහ ‍පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ රථ සහ ඔවුන්ගේ ආරක්ෂක පසුගමන් රථ හා ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ම පමණක් පැමිණි රථ බව සඳහන් කරන අතර, එය වැරදි ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම කනගාටුවට කරුණකි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා හට ආරක්ෂක නිලධාරීන් 10 දෙනකු සහ පසුගමන් රථ 02ක් ලැබී ඇති අතර, අදාළ දිනයේදී මිනුවන්ගොඩ නගරයට මා පැමිණියේ එකී ආරක්ෂක රථ දෙක ද සමඟ පමණක් වන අතර, කිසිම මොහොතක අමතර ආරක්ෂාවක් ලබාගෙන නොමැත. අමතර ආරක්ෂක රථ ද භාවිතා නොකරයි.

එහිදී සිදුවූ සත්‍ය තත්ත්වය නම් එදින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට පහත සඳහන් නිලධාරීන් සමඟ සමූහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබීමයි.

ඒ සඳහා සහභාගිවූ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ නාම‍ ලේඛය පහත පරිදි වේ.

  1. ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති සහ සමූහ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ
  2. රියර් අද්මිරාල් සුජීව පෙරේරා

iii. එයාර් වයිස් මාර්ෂල් ලෙනාඩ් රුද්‍රිගෝ

  1. එයාර් වයිස් මාර්ෂල් ප්‍රශන්ත පායෝ
  2. 141 බලසේනාධිපති බ්‍රිගේඩියර් මහින්ද ජයවර්ධන
  3. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ

vii. පොලිස් ස්ථානාධිපති (මිනුවන්ගොඩ) අජිත් ප්‍රියන්ත

  • • තවද ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
  • • මීට අමතරව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන යුද හමුදා ධාවන පැදි කණ්ඩායම් (30) සහ යුද හමුදා සන්නද්ධ රථ කණ්ඩායම්

සැබවින්ම මාගේ දේශපාලන දිවිය ආරම්භ කළ මොහොතේ සිට අද දක්වාම මා විසින් භාවිතා කරන්නේ මාගේ පෞද්ගලික රථ වාහන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

එබැවින් අසත්‍ය ප්‍රචාර නිසා ජනතාව තුළ මා කෙරෙහි වැරදි අවබෝධයක් නිර්මාණය වී ඇති බැවින් එය නිවැරදි කර ජනතාවට සත්‍ය තොරතුරු ලබාදී යහපත් මාධ්‍ය සදාචාරයක් සුරැකීම වෙනුවෙන් අදාළ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාල කටයුතු කරන්නේ නම් ඉතා අගය කොට සලකමි.