වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.

අද දවසේ රටට මුහුණදීමට සිදුව තිබෙන ත‍්‍රස්ත අභියෝගය ද ශ‍්‍රී ලංකාවෙන් මුළුමනින්ම අතුගා දමා රට තුළ ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට අපගේ වීරෝදාර රණවිරුවන්ට හැකියාව තිබෙන බව සේනාධිනායකයා ලෙස තමා දැඩිව විශ්වාස කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ අද (19) පස්වරුවේ පැවති ‘රණවිරු උත්තම ප‍්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම්’ උත්සවය අමතමිනි.

මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ, අතුරුදන් සහ ආබාධිත වූ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.
උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වසර 30ක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට එරෙහි යුද ජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන අවස්ථාවේ ඊට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සිදුවීමකට නොසිතු අයුරින් අපට මුහුණදීමට සිදුව තිබෙන බවයි.
ඒ හමුවේ මෙරට ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ සහ සියලු ආරක්ෂක අංශවල විශේෂඥයන් ඇතුළු සියලුදෙනාට නව වගකීමක් පැවරී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා වසර 30 ක යුද අත්දැකීම් සමඟ එම අභියෝගය ද නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට එම සියලුදෙනාට හැකියාව තිබෙන බව කියා සිටියේය.
වසර 30ක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් වෙත ද සිය උපහාරය පිරිනැමීය.
එමෙන්ම සේවාවන්හි නිරත සියලු රණවිරුවන් අද දවසේ මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරන විශිෂ්ට මෙහෙවර ද ජනාධිපතිතුමා ඇගැයීමට ලක් කළේය.
මේ අතර අපේ‍්‍රල් 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් සිය සංවේගය පිරිනැමීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.
මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා ඇතුළු නිලධාරින් මෙන්ම මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.


“රණවිරු උත්තම ප‍්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2019.05.19 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී


ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අවසන් කර ස්ථිර සාමය උදාකර ගෙන දස වසරක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමටයි අප මේ එක්වී සිටින්නේ.
මේ සැමරීම තුළ මා ජනාධිපතිවරයා වශයෙනුත් වසර 30 ක යුද්ධයේ දී රට වෙනුවෙන් සටන් කළ මිය ගිය ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් වෙනුවෙන් රජයේත් මුළු ජාතියේත් ගෞරවය ප‍්‍රණාමය භක්තිය සැමවිටම පිරිනමනවා. ඒ වගේම සිහිපත් කරනවා. ඔවුන් ජීවිත පූජා කළේ අප මාතෘභූමිය වෙනුවෙන්. ඒ වගේම ජීවත් වන ජනතාවට ස්ථිර සාමය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර දීමටත් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ස්වෛරිත්වය පිළිබඳව ඔවුන්ගේ තිබූ දැඩි කැපවීම පරිත්‍යාගශීලීභාවය තුළයි ඔවුන්ගේ වීරත්වය සටන්කාමිත්වය එඩිතරබව අවංක බව ද සමග ජාතියේ අනාගතය වෙනුවෙන් ඔවුන් සියලුදෙනාම ජීවිත පූජා කළේ. ඒ නිසා වසර 30 ම්ලේච්ඡ යුද්ධයේ දී ජීවිත පූජා කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් රණවිරුවන් වෙනුවෙන් මා නැවත නැවතත් මගේ ගෞරවය සහ ප‍්‍රණාමය පුද කරනවා වගේම ඉතාමත් වේදනා සහගතව ඉතාමත් ශෝකයෙන් ඔවුන් ව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ මියගිය රණවිරුවන් වගේම යුද්ධයේ දී ආබාධිත වූ දැනට ජීවත්ව සිටින බොහෝ දුක් කරදර මැද කඳුළු මැද ආබාධිතව ජීවත් වන සියලුම ආබාධිත රණවිරුවන්ටත් රජය සහ ජනතාව වෙනුවෙන් ගෞරවය සහ ප‍්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා.
අද සේවයේ යෙදී සිටින එදා සටන්බිමේ සටන් කළ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිය මාතෘභූමිය වෙනුවෙන් සටන් කරමින් ලබාගත් ජයග‍්‍රහණය සමඟ, අදත් මාතෘභූමියේ අනාගතය හෙට දවස වෙනුවෙන් සිය සේවාවන් ඉටු කරන, ස්වාභාවික විපත්ති ආපදාවන් ඒ සියලුම කරදරවලදි රටේ මහජනතාව වෙනුවෙන් ඉදිරියට ගොස් පෙනී සිටිමින් සිය සේවාව වගකීම ඉටු කරන, රාජකාරියටත් එහා ගිය ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය පෙන්නුම් කරන සේවාවල යෙදී සිටින සියලුම රණවිරුවන්ට, පොලිසියේ, සිවිල් ආරක්ෂක සේවයේ ඒ සියලුදෙනාට ජාතියේ ගෞරවය සහ ප‍්‍රණාමය මා පුද කරනවා.
අපි අද වසර 10 කට පසුව මේ යුද්ධය අවසන් වීම පිළිබඳව වසරක් වසරක් පාසා සිහිපත් කරමින් මියගිය රණවිරුවන්ගේ ගුණ සිහි කරමින් ඔවුන්ට ගෞරව කරමින් ඔවුන්ට පින් පමුණුවමින් අප වසර 09 ක් ගත කළා වගේම අද අප ඔවුන් නැවත නැවතත් සිහිපත් කරනවා. මේ රණවිරුවන්ගේ පවුල්වල ඔවුන්ගේ දෙමව්පියන්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන් හිතමිතුරන් වසර 10 ක් නොවෙයි කඳුළු හලා ඇත්තේ. ඔවුන් හතළිස් වසරක් පුරා කඳුළු හලා තිබෙනවා. ඒ එදා 80 දශකයේ යුද්ධයේ ආරම්භයේ සිටම මියගිය ආබාධිත වූ ඒ සියලු පවුල්වල ඇති වූ ඛේදවාචකයන් සිහිපත් කරමින් තමයි ඔවුන් සැමවිටම දුක් වන්නේ. අපි රජයක් විදියටත් ජාතියක් විදියටත් මේ රටේ පුරවැසියන් විදියට ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ දුක් කඳුළුවලට වේදනාවන්ට අපේ හෘදය සාක්ෂියේ එකඟතාව තුළ අපි සැමවිටම එක්වෙමින් අපි නැවත නැවතත් අපේ ශෝකය පළ කරනවා.
අපි ඉතා අසීරුවෙන් අමාරුවෙන් දිනූ යුද්ධයක්. ඔබටත් මටත් අපි කාටත් මතක තිබෙනවා 80 දශකයේ සිට බලයට පත් වූ සෑම රජයක්ම රාජ්‍ය නායකයෙක්ම එවකට සිටි හමුදාපතිවරුන් සියලු නිලයන් ඒ වගේම පොලිසිය සිවිල් ආරක්ෂක සේවය ඒ සෑම කෙනෙක්ම ඒ හතළිස් වසරකට ආසන්න කාලයක් මේ කටයුතු සිහිපත් කරනවා වගේම වසර 30 ක කුරිරු ම්ලේච්ඡ අමානුෂික යුද්ධයේ අතිදැකීම්වලින් පෝෂණය වී තිබෙනවා. ඒ වගේම එදා අපේ රජයන්ට සිදු වුණා විදේශීය හමුදාවන් මේ රටට ගෙන්වන්නට. අපේ මිත‍්‍ර රාජ්‍යයක් වූ ඉන්දීය රජයෙන් ලක්ෂයක හමුදාවක් අපේ රටට පැමිණියා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය විනාශ කිරීම සඳහා. එහෙත් එල්.ටී.ටී.ඊ ය පරාජය කරන්න ඔවුන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ. වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක උරුමකරුවන් වන අපේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ ඓතිහාසික පදනම අනුව සැමවිටම දූපත් රාජ්‍යයක් විදියට වසර දහස් ගණනක ඉතිහාසයේ අපි සටන්කාමී ජාතියක්.
විදේශීය ආක‍්‍රමණවලින් අපේ මුළු ඉතිහාසය පිරී තිබෙනවා. එයට ප‍්‍රධාන හේතුව අපි කුඩා දූපත් රාජ්‍යයක් වීමයි. වෙළෙඳ කටයුතු සඳහා ආක‍්‍රමණශීලීත්වයෙන් විවිධ අවස්ථාවල අපේ රට විදේශිකයන් ආක‍්‍රමණය කිරීම වසර දහස් ගණනක ඉතිහාසයේ සටහන් වී තිබෙන දෙයක්. ඒ සැමවිටම සියලු සටන්වල දී මුළු ඉතිහාසය පුරා අවසානයේ ජයග‍්‍රහණය කර ඇත්තේ අපේ රණවිරුවන්. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වීරත්වය සහ කැපවීමත් ජීවිත පරිත්‍යාගයත් මගින් මව්බිම සැමවිටම ඔවුන් බේරාගනු ලැබුවා. ඒ නිසා තිස් වසරක යුද්ධයේ අත්දැකීම් සමඟ අපි එදා 2009 මැයි මාසේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී ම්ලේච්ඡ නායකයාගේ ජීවිතයත් සමඟ ඒ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අවසන් කිරීමෙන් සුන් කිරීමෙන් පසුව මේ රටේ සෑම කෙනෙක්ම එදා අධිෂ්ඨානශීලී වුණා. අපි අපේ මාතෘභූමිය නිදහස් කර ගැනීමත් සමඟ ජාතියේ අනාගතය වෙනුවෙන් මේ රටේ අනාගතය සංවර්ධනය සඳහා අප සියල්ලන්ම කැප විය යුතුයි කියන ඒ ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානශීලීභාවයට පත් වුණා.
අපි ඒ නිදහස භුක්ති විඳිමින් වසර 10 ක් ගත කළා. එහෙත් අපි බලාපොරොත්තු නොවූ ආකාරයකට පසුගිය මාසේ අපේ‍්‍රල් 21 වෙනිදා ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් නිසා අපේ රටේ තුන්සියයකට ආසන්න අපේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් ඒ වගේම විදේශිකයන් පිරිසක් මිය ගියා. මා මේ අවස්ථාවේ ඔවුන්ගේ ඒ වියෝව පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත් වෙනවා වගේම අපේ ආරක්ෂක හමුදාවලට අපේ ත‍්‍රිවිධ හමුදාවට අපේ බුද්ධි අංශවලට ඒ වගේම පොලිස් සේවාවට අපේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටින සියලු නිලධාරීන්ට මේ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ට නැවත වගකීමක් පැවරී තිබෙනවා වසර 30 ක යුද්ධයේ දී ලැබූ අත්දැකීම් වගේම ඒ යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා. මෙය ලෝකය හඳුන්වනවා වගේම අපි සැමවිටම හඳුන්වන්නේ මේ අපේ‍්‍රල් 21 වෙනිදා සිදුවීම ලංකාවේ ප‍්‍රශ්නයක් නොව ලෝකයේ ප‍්‍රශ්නයක් විදියටයි. එය ජාත්‍යන්තරය හඳුන්වන්නෙත් ඒ ආකාරයටයි.
ඒ නිසා වසර 30 ක අපි ජයග‍්‍රහණය කළ යුද්ධයේ අත්දැකීම් සමඟ මා දැඩි ලෙස විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ බුද්ධි අංශවලටයි. බුද්ධි විශේෂඥයන්ටයි. ඒ බුද්ධි අංශවල බුද්ධි විශේෂඥයන්ගේ ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රවීණයන්ගේ අවබෝධය දැනුම අත්දැකීම් පරිණතභාවය සහ විශේෂයෙන්ම ඒ පිළිබඳව තිබෙන බහුශ‍්‍රැතභාවය තුළ මේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධි අංශවලටත් සම්පූර්ණ වශයෙන්ම ශක්තිය තිබෙන බව මා තරයේම විශ්වාස කරනවා. ඒ නිසා අපිට තිස් අවුරුදු යුද්ධයේ අත්දැකීම් සමඟ ඊට හාත්පසින්ම වෙනස් වූ නව තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ගත වූ මාසයකට ආසන්න කාලය තුළ මේ රට තුළ එම ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම ගැටුම්වල දී මිය යෑම තුළ අපට මේ රටේ ස්ථිර සාමයක් පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහෙත් අපට වඩා ලෝකයේ ප‍්‍රබල බලවත් රාජ්‍යයන්හි ප‍්‍රබල නායකයන් වගේම යුද විශේෂඥයන් ප‍්‍රකාශ කරන ආකාරයට අන්තවාදය ආගමික අන්තවාදය ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මෙන්ම රටවල ඇතිවන්නා වූ ත‍්‍රස්තවාදී ව්‍යාපාර තුළ ඇති වන සිදුවීම් කොයි වේලේ කොයි මොහොතක කොතනක කුමන ආකාරයෙන් සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයෙකුට බලවතෙකුට හෝ යුද විශේෂඥයෙකුට හෝ යුද බුද්ධි විශේෂඥයෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්කා පසුගිය මාර්තු මාසයේ ප‍්‍රංශයේ පැරිස් නගරයේ තිබූ වසර 800 ක ඉතාමත් ශ්‍රේෂ්ඨ උතුම් කතෝලික පූජනීය ස්ථානයක් ගිනි ගත්තා. අපේ‍්‍රල් 21 වෙනිදා අපේ සිදුවීමෙන් පසුව තවත් ලෝකයේ රටවල් කිහිපයක මේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය විසින් පිපිරීම් සහ ඝාතන සිදුකරනු ලැබුවා. ඒ නිසා අපි රටක් විදියට ලෝකය සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා අපේ රට තුළින් මේ නව ම්ලේච්ඡ ජාත්‍යන්තර අන්තවාදී ත‍්‍රස්තවාදය විනාශ කිරීමටත් ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් අප විසින් ලබා ගත යුතු සහයෝගය අවශ්‍ය පරිදි ලබා ගැනීමත් මේ කියන කරුණු මුල් කරගෙන. ඒ තුළ මා විශ්වාස කරනවා වසර 30 ක යුද අත්දැකීම් සමග ප‍්‍රධාන වශයෙන්ම මේ ප‍්‍රශ්නයට මුහුණ දී ජයග‍්‍රහණය කර රටට ස්ථිර සාමයක් ළඟා කර දීමේ හැකියාව අපිට රජයක් විදියටත් ආරක්ෂක අංශවලටත් පැවරී තිබෙනවා වගේම එය ඉටු කළ හැකි බව මා විශ්වාස කරනවා.
අද දවසේ අපි වසර 30 යුද අත්දැකීම් සිහිපත් කරමින් ඒ යුද ජයග‍්‍රහණයේ දස වසර සමරන මේ අවස්ථාවේ නැවත නැවතත් යුද වීරයන්ට ගෞරවය ප‍්‍රණාමය පුද කරනවා වගේම මේ සියලු කටයුතුවලට විශේෂයෙන්ම මේ සැමරුම් උලෙළ සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ, මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, ඒ වගේම රණවිරු අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් ජම්මික ලියනගේ මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩල, ජනමාධ්‍යවේදීන් ඔබ සියලුදෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. දස වසරක් සමරමින් සිහිපත් කරන ඒ ලැබූ යුද ජයග‍්‍රහණය තුළ ප‍්‍රධාන වශයෙන් ලැබූ අත්දැකීම් සමඟ මේ රටට ස්ථිර සාමයක් සමඟම මේ රටේ ආර්ථික සමෘද්ධිය ස්වාධීනත්වය සමඟ ස්වයංපෝෂිත වූ ආර්ථිකයක් සමඟ ගුණවත් යහපත් පාලනයක් සමාජයක් මේ රටේ මුළු මහත් ජනතාවට නිදහසේ සතුටින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟීමට අප සියලුදෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් තිස් වසරක යුද්ධයේ දී මියගිය මෙන්ම ආපදාවන්ට පත් වුණු සියලු රණවිරුවන් නැවත නැවතත් සිහිපත් කරමින් බෞද්ධයෙක් විදියට ඔවුන්ට පින් පමුණුවමින් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තූතියි.
තෙරුවන් සරණයි.!

1

2

3

5

6

7

8

9

10

11

 

12

13

15

16

17

18

20

21

22

23