කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.

 

ඊට සමගාමීව බැතිමතුන්ගේ පහසුව සඳහා දේවස්ථානයේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් ඉල්ලීමක් සිදු කළහ. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ඉඩමෙන් භූමි කොටසක් ප්‍රදානය කෙරුණු අතර එහි ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීම ඊයේ (22) සිදු විණි.
එම අවස්ථාවට රෝමයේ පාප්වහන්සේගේ විශේෂ නියෝජිත අතිඋතුම් ෆිලෝනි ෆර්නෑන්ඩෝ කාදිනල් හිමිපාණන් වහන්සේද සහභාගීවූහ. උන්වහන්සේ විසින් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල නිරත වන නාවික හමුදා පිරිස් වෙත අදහස් පළ කිරීමද සිදු කරන ලදී.