පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වන විට රටේ ජන ජීවිතය හා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, දැන් සිදු කිරීමට ඇත්තේ සංචාරක කර්මාන්තය යළි නංවාලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් පනවා තිබූ තහනම මේ වන විට ඉවත් කර තිබෙන බවත්, ඒ අනුව සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම තවත් වේගවත් වනු ඇති බවත් අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමග ඊයේ (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.