ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස 30 පස්වරුවේ දිවුරුම් දුන් අතර එතුමාගේ ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අභිමානවත් උලෙළට එක් විය.

ඉන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්  ඊයේ  (31) පෙරවරුවේ හයිද්‍රාබාද්හි දී සිදු විය.

හයිද්‍රාබාද් නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා මිත‍්‍රශීලිව සහ උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.

සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර තම ආරාධනය පරිදි දිවුරුම් දීමේ උලෙළට එක්වීම පිළිබඳව නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී ජනාධිපතිතුමා වෙත සිය සතුට පළ කළේය.

එමෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ඛේදජනක සිදුවීම කනගාටුවෙන් සිහිපත් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සාමය සහ සංවර්ධනයට අදාළව දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.

ත‍්‍රස්තවාදය පිටුදැකීම සහ කලාපයේ සාමය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ද මෙහි දී නායකයෝ ප‍්‍රතිඥා දුන්හ.

නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගනිමින් දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ මෙහි දී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා එතුමාගේ ඉදිරි පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

එමෙන්ම සමීපව කටයුතු කරන නායකයන් ලෙස එහිදී එක් ව කැපවීමට ද නායකයෝ එකඟ වූහ.