මුලතිව් දිස්ත්‍රික්කයේදී ඇරඹේ...


“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ සිව්වැන්න අද (03) මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ.
ජනාධිපති කාර්යාලය සහ විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ සුබසාධන වැඩසටහන් වඩා සක්‍රීය කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීමත්, දීර්ඝ කාලයක් පුරා පවතින මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය යටතේ වැඩසටහන ක්‍රියාත්මකය.
ජුනි 08 වනදා දක්වා එය මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හය තුළ හඳුනාගත් මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් වැඩසටහන් රැසක් ඒ අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
වකුගඩු රෝග නිවාරණයට අදාළ විශේෂ සංවර්ධන වැඩසටහන් රැසක් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය කටයුතු යොදා තිබෙන අතර, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු.මිලියන 37 ක වියදමින් ඉදිකරන ලද වකුගඩු ‍රෝගී සහන මධ්‍යස්ථානය ජූනි 08 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාප්ති උත්සවයට සමගාමීව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.
මේ අතර වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වකුගඩු රෝගී පවුල් 300 ක් සඳහ වස විසෙන් තොර සහල් සලාක ලබාදීම, මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි 10,000 ක් පමණ පිරිසක් සඳහා වකුගඩු රෝගය පෙර හඳුනා ගැනීමේ සායන 28 ක් පැවැත්වීම සහ වකුගඩු ‍රෝග දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදුවේ. තවද රුපියල් මිලියන 16 ක් පමණ වැයකර ප්‍රතිලාභී පවුල් 2500 කට පමණ සෙත සැලසීමට ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 10 ස්ථාපිත කිරීම, වකුගඩු රෝගී අවදානම සහිත ප්‍රදේශවල සිටින වකුගඩු රෝගීන්ගේ පවුල් සඳහා රුපියල් මිලියන 6.7 ක් පමණ වැය කර ප්‍රතිලාභීන් 8000 කට පමණ සහන සැලසීමට හැකි ගෘහස්ථ ජල පෙරණ උපකරණ ලබාදීමද සිදුකෙරේ.
මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේද විශේෂ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කය පුරා සැලසුම් කර තිබේ.
කෘෂිකාර්මික සහ රුක් රෝපණ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය ලබාදී තිබෙන අතර පැළ බෙදාදීම, ආහාර බෝග බීජ බෙදාදීම ඇතුළු වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා සංවිධානය කර ඇත.
තම ගැටලු ජනාධිපතිතුමාට සෘජුව ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙමින් ක්‍රියාත්මක “ජනපතිට කියන්න” වැඩසටහන අද 03 වන සඳුදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද 04 වන අඟහරුවාදා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, 05 වන බදාදා මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, 06 වන බ්‍රහස්පතින්දා තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, 07 වන සිකුරාදා පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ ප.ව.1.00 සිට ප.ව.4.00 දක්වා මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේදීද ක්‍රියාත්මක කෙරේ.