පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී ඊයේ (06) පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.
ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමී ව ‘තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම’ යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.
පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව පැවසු ජනාධිපතිතුමා පොලිතින් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලුදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.
මේ අතර ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා වඩු මඩු අලුතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.
මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10ක් ගතවන තුරුවත් රට තුළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
එමෙන් ම ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී ජනාධිපතිතුමා සියලු පරිසර විද්‍යාඥයන්ට, ආචාර්ය මහාචාර්යවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ට ආරාධනා කළේ පරිසර විෂය කෙරෙහි තම ලබා ඇති දැනුම, අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සමුළුවල දී ලබා ගන්නා දැනුම ප‍්‍රායෝගිකව රට වෙනුවෙන් භාවිතා කිරීමේ වගකීම මීට වඩා පුළුල් ලෙස ඉටුකිරීමට එක්වන ලෙසයි.
ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. වායු තත්ත්ව මැනීමේ ජංගම රථය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
පරිසර ප‍්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි. වායු හා ජල තත්ත්ව මිනුම් ඒකක පිළිබඳ වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
වාහන වායු විමෝචන අරමුදල විසින් ලබා දෙනු ලබන වායු මැනුම් ඒකකය ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීම සිදු කෙරිණි
තිරසර පැවැත්ම උදෙසා වායු දූෂණය පාලනය හා නියාමනය පිළිබඳ අත්පොත සහ සොබාකෙත සඟරාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.
2019 ජගත් පරිසර දිනයට සමගාමීව ගරු ජනාධිපතිතුමා විසින් අත්සන් තබන ලද වායු විමෝචන පාලන ගැසට් පත‍්‍රය එළිදැක්වීම ද සිදු කෙරුණු අතර මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් පත‍්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පුත්තලම දිස්ති‍්‍රක්කයේ මුන්දලම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 27ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති සැන්ඩිකාඩු වැලි කඳුවැටිය, බලපෑමට ලක්වන ප‍්‍රදේශයක් ලෙස සංරක්ෂණ කිරීමට අදාළ ගැසට් පත‍්‍රය එළිදැක්වීම ද සිදු කෙරිණි.
එමෙන් ම වනරෝපා ජාතික උත්සවයට සමගාමීව රාජ්‍ය ආයතන 14ක පැළ තවාන් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 21.3 ක ප‍්‍රතිපාදන ලබාදීමේ පොරොන්දු පත‍්‍රය ජනාධිපතිතුමා අතින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිළිගැන්විණි.
පුනරුදය ජාතික පරිසර වැඩසටහන මඟින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දෙනු ලබන මුල්‍යමය ප‍්‍රතිපාදන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වත භාරදීම ද සිදු විය.
පරිසර හිතකාමී නිමවුමක් සිදු කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ තරුෂි රාජපක්ෂ ශිෂ්‍යාව ඇගැයීමට ලක් කරමින් ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 15ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව කුඩා කල සිට නව නිර්මාණ රැසක් රටට දායාද කළ අතර, ලන්ච් ෂීට් වෙනුවට යොදාගත හැකි පරිසර හිතකාමී බෑගයක් ද නිර්මාණය කළාය.
රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විදවතුන්, පරිසරවේදීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනිය ආරාධිත පිරිසක් උත්සවයට එක්ව සිටියහ.
මේ අතර ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි 30 සිට ජූනි 05 දක්වා වන සතිය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
මැයි 30 වනදා පරිසරය පවිත‍්‍ර කිරීමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්. මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප‍්‍රකාශයට පත් කරමින් එම වැඩසටහන් කි‍්‍රයාත්මක විය.
ජගත් පරිසර දින සමුළුව අමතා ජනාධිපතිතුමා කළ කතාව – 2019-06-06 දින (BMICH)
ලෝක පරිසර දිනය ජූනි 5 දිනටයි යෙදී තියෙන්නේ. ඒ වෙනුවෙන් පවත්වන ජාතික උත්සවය අද පැවැත්වීමට අප කටයුතු කළා. ඒ වෙනුවෙන් අද දක්වා රට පුරාම ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. ලෝක පරිසර දිනය නම් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්. එහි පරිසර අංශය මේ පිළිබඳ පූර්ණ වගකීම දරමින් ජාත්‍යන්තර විද්වතුන් පරිසරවේදීන් විසින් කරනු ලබන උපදෙස් සාමාජික රටවලට ලබා දෙනවා.
අපි පරිසර සංරක්ෂණය පිළිබඳව රජයක් විදියට අපේ වගකීම් ඉටුකරනවා. මහාචාර්යතුමාගේ දේශනයේ දී සදඟන් කෙරුණේ විද්‍යාත්මක කරුණු. රාජ්‍ය ඇමතිතුමත් ඉංජිනේරු මහත්මයෙක් නිසා විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන කතා කළා. නමුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික කරුණුයි.
මම ජනාධිපති ධුරයට එන්න පෙරත් පසුගිය වසර 20ක් 25ක් අත්‍යවශ්‍ය ගමන්වලට හෙලිකොප්ටරයෙන් ගිහින් තියෙනවා. ජනාධිපති වුණාට පස්සේ මේ වසර 5කට ආසන්න කාලයේ සමහර වෙලාවට සතියකට දින 2ක් 3ක් හෙලිකොප්ටරයෙන් යනවා. අදත් නුවර යන්න තියෙනවා පරිසර උත්සවයකට. මේ යන සෑම දිනයකම චොපර් එකේ යන ගමන් මගේ හිතට එන අදහසක් තමයි අඩු තරමෙන් මේ රටේ පාසල් දරුවෝ ටික හෙලිකොප්ටරයෙන් ගෙනියන්න තියෙනවා නම් හොඳයි කියලා. එහෙම අදහසක් එන්නේ දරුවනේ අපේ රට මොනතරම් ලස්සන රටක් ද කියලා පේන්නේ මහපොළොවේ යනවිට නෙවෙයි උඩින් යන විටයි. පිටරටට යන්න කටුනායකට ගිහින් ගුවන් යානයෙන් යද්දී විනාඩි 5කින් මුළු රටම නොපෙනී යනවා. නමුත් රට දකින්න නම් උඩින් යනවා නම් යන්න ඕනෑ හෙලිකොප්ටරයකින් තමයි. මොනතරම් ස්වාභාවික සම්පත්වලින් අනූන වූ සුන්දර රටක් ද අපේ රට. රටේ උතුරට, දකුණට, නැගෙනහිරට ගියත් ලස්සන නිල තණබිම්, කෙත්වතු, ජලයෙන් පිරුණු වැව්, අමුණු දකින්න පුළුවන්.
මීට වසර 2කට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමයි මායි එතුමාගේ නිල හෙලිකොප්ටරයකින් ඉන්දියාවේ දිල්ලි ඉඳලා පැය එක හමරක ගමනක් ගියා තවත් ප්‍රදේශයක උත්සවයකට. ඒ යන ගමන් ඒ පැය එක හමාරම මම දැක්කේ හරියට ගහක් කොළක් නැති, කහ පාට මහ පොළොවත් එක්ක දුෂ්කර පරිසරයක්. මම යන ගමන් මෝඩි මැතිතුමාට කිව්වා මගේ රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට යන්න පැය එක හමාරයි යන්නේ. නමුත් එහෙම යද්දී මුළු රටේම දකින්න තියෙන්නේ තණ නිල්ල, මහ වනන්තර, මහා පොල් වතු, ගහ කොළ කියලා.
මේ කාරණය මම සඳහන් කළේ අපි තවමත් ප්‍රමාද නැහැ අපේ රට රැකගන්න. මේ රට වායු දූෂණය අවම වු සුන්දර රටක් විදියට අපිට පවත්වාගෙන යන්න පුළුවන්.
ගිය සතියේ මම ඉන්දියාවේ දිල්ලි නගරයට ගියා මෝඩි මැතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට. හිටපු හෝටලයේ සිට කාරෙකට නගින්න එළියට ආ විට දැනෙන්නේ පාන් පෝරුණුවක් ඇතුළට යනව වගේ. අද දවසත් දිල්ලි එහෙමයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 යි 47යි. කිසිම මිනිසෙකුට පාරක ඉන්න බැහැ. දිල්ලිවල සමහර මිනිසුන් මැරෙනවා, රස්නය දරා ගන්න බැරිව. මේ දවස්වලත් මැරෙනවා. උෂ්ණත්වය වැඩි නිසා සාමාන්‍ය තැනක කිසිම කෙනෙකුට ඉන්න බැහැ. ඒ දවස්වල ලංකාවේ උෂ්ණත්වය කීයද කියා මා සොයා බැලුවා. මෙහෙ සෙල්සියස් අංශක 30යි 31යි. කොළඹට වහිනවා. දිල්ලිවල වැස්සක් පේන්නවත් නැහැ. එහෙ මුළු වටපිටාවම දුමාරයකින් වැසී ගොස් තියෙනවා.
දැන් මහාචාර්යතුමත් වායු දූෂණය පිළිබඳ ලෝකයේ රටවල්වල තොරතුරු ඉදිරිපත් කළා. ඒ තොරතුරු මම ළඟත් තියෙනවා. දිල්ලිවල ඝන මීටරයට මයිකෝ ග්‍රෑම් 113.5 යි. පකිස්ථානයේ ලාහෝර් වල 114.9 යි. ඇමෙරිකාවේ වොෂින්ටන්වල 8 යි. ලංකාවේ 32 යි. මේ තත්ත්වය රැකගන්න අපි මොනවද කළේ අපි මොනවද කළ යුත්තේ අපි විද්‍යාත්මක දැනුම දෙනවා ප්‍රතිපත්තිමය වශයෙන්. නමුත් ප්‍රායෝගිකව අපි මොනවද කළේ, කරන්නේ. ඉදිරිපත් කිරීම්වල දැක්කා වගේ මම 2007 පරිසර ඇමතිවරයා විදියට ඉන්න කාලේ තමයි ද්විත්ව පහර ටූස්ට්‍රෝක් ත්‍රීවිල් තහනම් කළේ ලංකාවේ. ඒ තහනම් කරපු ගැසට් නිවේදනය ගැහුවේ 2007 දී අවුරුදු 5 ක් ඉස්සරහට තියලා. මොකද එකවර ඒ වගේ ගැසට් නිවේදනයක් නිකුත් කළොත් ත්‍රිවිල් පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙනවා. පිටරටින් ගෙන්වන්න ඕඩර් කරලා තියෙන අයට ප්‍රශ්නයක් වෙනවා. ව්‍යාපාරිකයින්ට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ටූස්ට්‍රෝක් ත්‍රීවිල් ලංකාවට ගෙන්වීම අවුරුදු 5 ක් ඉස්සරහට තියලා තහනම් කරලා ගැසට් එක නිකුත් කළා.
2007 පොලීතීන් තහනම ගැසට් කළා. සමහරවිට ඔබට අමතක ඇති 2007 ට ඉස්සර වෙලා ලංකාවේ මහපාර අයිනේ යන විට මස් කඩවල ඌරු මස්, හරක් මස්, කුකුලු මස් පාර අයිනේ එල්ලලා තියෙනවා. හරකාගෙන් බාගයක් කපලා, කුකුලන් කපලා බාගයක් පේන්න එල්ලලා විකුණනවා. 2007 මගේ ගැසට් එකකින් තමයි ඒක නැවැත්වුවේ. මස් විකුණනවා නම් ඒක පෙනෙන්නේ නැතුව තිබිය යුතුයි ඒ වගේම අයිනේ එල්ලලා විකුණන්න බැහැ කියලා. 2007 තමයි ඒ ගැසට් එක නිකුත් කළේ. පොලිතීන් තහනම ගැසට් එක ගැහුවත් සෑහෙන කාලයක් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය දවස්වල ඒක ක්‍රියාත්මක වුණා. ලංකාව ලෝකයේ එකම රට පොලීතින් තහනම නීත්‍යානුකූල කරපුවාහම පොලිතීන් තහනමට විරුද්ධව ගිය ලංකාව. ආණ්ඩුවේ ලොකුම ලොකු මහත්තයෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුවා මගේ පොලිතීන් තහනම තාවකාලිකව ඉවත් කරන්න කියලා. මම කැබිනට් මණ්ඩලයේ කිව්වා ඔය ගැසට් පත්‍රය මම කිසිසේත් පිළිගන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරනවා කියලා.
පොලිතීන් කොම්පැනිකාරයෝ, හොරට විකුණන මිනිස්සු, පොලිතීන් ජාවාරම්කාරයෝ වසර දෙකකට පෙර පෙළපාලි ගියා පොලිතීන් තහනම ඉවත් කරන්න කියලා. නමුත් අපි ඉවත් කළේ නැහැ, එය ශක්තිමක් කළා. නීති රීති තද කළා. පොලීසියේ පරිසර අංශයටත් බලතල දෙන ගැසට් එක නිකුත් වුණාද කියලා මම දන්නේ නැහැ. ඒ විදියට කටයුතු කළා. දැන් මෙවර පරිසර දිනයේ තේමාව “තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම”. වනාන්තරය ආරක්ෂා කරන්න අපි මොනවද කළේ. ලංකාවේ පළමු වතාවට ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා වනය ආරක්ෂා කරන්න, පරිසර නිලධාරීන් සමඟ. සතියකට වතාවක් ගුවන් හමුදාව ගිහින් බලනවා වනාන්නර හොරෙන් කපනවාද කියලා. නාවික හමුදාව මුහුදේ ආරක්ෂා කරනවා රට ඇතුළේ ගස් කපලා වෙනත් රටකට ගෙන යනවාද නැත්නම් රටේම වෙන ප්‍රදේශයකට මුහුදෙන් ගෙන යනවාද කියලා. යුද හමුදාව පොලීසිය සමග ඒකාබද්ධව වැටලීම් කරනවා.
මීට මාස ගණනකට පෙර කුරුණෑගල පැත්තේ මළ ගෙදරකට ගියා. එහිදී අහිංසක යහපත් මනුස්සයෙක් මගේ ළඟට ඇවිත් ඇහුවා සර් නේද පරිසර ඇමති කියලා. මම ඔව් කිව්වා. ඔහු පැවසුවා සර් ගස් රකින්න හුඟක් මහන්සි වෙනවා නේද කියලා. මම කිව්වා ඔව් ගස් කපන්න බැහැ මගේ අත්සන නැතුව කියලා මම තහනමක් දාලා තියෙන්නේ කිව්වා. ගහක් කපන්න ඕනෑ නම් ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕනෑ කියලා මම චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ කිව්වා. මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් පරිසර විෂය භාරගත්තේ නැහැ. මම 2015 ජනාධිපති විදියට පත්වෙලා පරිසර විෂය මගේ යටතට අරගෙන මම පළමුවෙන්ම කළේ පොළොන්නරුව මැද්දෙන් ගලා යන මහවැලි ගඟේ වැලි ජාවාරම තහනම් කළ එක. සම්පූර්ණයෙන්ම බලපත්‍ර අහෝසි කෙරුවා. භූ විද්‍යා හා පතල් කාර්යාංශයට බාරදුන්නා පුද්ගලිකව කිසිම කෙනෙකුට බලපත්‍ර දෙන එක නැවැත්තුවා. මළ ගෙදර දී මම ළඟට ආ මහත්මයා කිව්වා සර් කොච්චර ගස් රකින්න හැදුවත් මේ හැම තැනම තියෙනවා චේන්ෂෝ. ඒ කියන්නේ ලී කපන චේන් එක. බැට්ට්‍රියෙන් ක්‍රියාරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාරේ යන වයර් එකකට කිට්ටු කර ගන්නත් පුළුවන්. ඇයි මේවා තහනම් කරන්නේ නැත්තේ කියලා. මේ අහිංසක දුප්පත් ගොවි මහත්මයෙක් මට කරපු යෝජනාවක්. මම 2005, 2006 දීත් පරිසර ඇමති විදියට හිටියා. ඊට පසුව පරිසර ඇමති වෙලා වසර 4 කට වැඩියි. අපේ අමාත්‍යාංශයේත්වත්, පරිසර අධිකාරියේවත්, මේ ක්ෂේත්‍රයේ ඉන්න වෙන කෙනෙක්වත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේවත් කිසිම කෙනෙක් මට එහෙම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ. නමුත් අර අහිංසක මනුස්සයා කිව්වා ගස් රකින්න ඕනෑ නම් සර් චේන්ෂෝ තහනම් කරන්න කියලා. මම කොළඹ ඇවිත් අපේ නිලධාරී මහත්වරුත් එක්ක සාකච්ඡා කරලා පොලීසිය එක්ක සාකච්ඡා කරලා ලංකාවේ සියලුම ගස් කපන මැෂින් ලියාපදිංචි කරන්න කියලා සති තුනක් ඇතුළත ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා.
ගස් කපන චේන්ෂෝ නැත්නම් ඒ ගස් කපන බ්ලේඞ්තල ලියා පදිංචි වුණා. ඒ සති තුනට අසූදෙදහක්. බලන්න ගමක සාමාන්‍ය ගැමියෙක්, අහිංසක දුප්පත් මනුස්සයෙක් කරපු යෝජනා මං ක්‍රියාත්මක කළා. මම ඒකයි කිව්වේ මේ සම්බන්ධ කිසිම කටයුතු කරන නිලධාරි මහත්මයකුගෙන්වත් වෙන දේශපාලන අංශයෙන්වත්, මාධ්‍යයෙන්වත් එහෙම යෝජනාවක් ආවේ නැහැ. එතකොට දැන් අසූදෙදහක් ලියාපදිංචි කරලා තියෙනවා පොලිසියේ මැෂින්. දැන් මම ගිය සතියේ පරිසර අධිකාරියට ගියා. පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙදි මම කිව්වා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලබන සතියේ ලංකාවට පිටරටින් ගස් කපන මැෂින් ගේන එක තහනම් කරන්න කියලා. අපි තහනම් කරනවා. ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳ ව තද තීන්දු තීරණ තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන්ම තහනම්. නිෂ්පාදනය කරන්නත් බැහැ. පිටරටින් ගේන්නත් බැහැ. ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලීමෝල් දාලා තියෙනවා. වැඩියේ සල්ලි නැති අය අතේ ගෙනියන ගස් කපන මැෂින් හංගගෙන ඉදලා කොහේ හරි හොරෙන් ගහක් කපලා රෑට අදිනවා. විනාඩි 5 ක් යනකොට කැපිලා ඉවරයි. ඊටත් දුප්පත් අය ගමේ බාසාවෙන් දන්නවා වඩුමඩු දානවා. වඩුමඩුව. මම දැන් වඩුමඩුවත් තහනම් කරන්න චක්‍රලේඛය නිකුත් කරන්න කිව්වා. වඩුමඩුවත් තහනම් කරනවා, පිටරටින් ගේන ගස් කපන මැෂින් තහනම් කරනවා, ලී මෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරකයින්ට වෙනත් ජොබ් එකක් හොයා ගන්න, ව්‍යාපාරයක්,ගස් කපන්න බැහැයි කියලා. ලංකාවේ අවශ්‍ය ගෘහ භාණ්ඩ වේවා, වෙනත් දැව ලී වර්ග අවශ්‍යතාවයක් තිබෙනවනම් පිටරටින් ගේන්න පුළුවන්. අඩු තරමින් අවුරුදු 10ක් මේක ක්‍රියාත්මක කළොත් මහාචාර්යතුමා කියපු අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. වන ඝනත්වය දැන් තිබෙන එක සියයට 28, සියයට 32 කරගන්න එක කරගන්න පුළුවන්.
ඒ නිසා මේ කටයුතු අපි සෑම කෙනෙක් ම විශේෂයෙන් ම ප්‍රතිපත්තියක් විදියට ක්‍රියාත්මක කරන්න නීති හදලා ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගික ව අප සෑම කෙනෙකුටම උවමනාවක් තියෙන්න ඕන. පරිසරය රකින්න ජනාධිපතිට විතරක් පුළුවන් කමක් නැහැ.
පරිසරය රකින්න පරිසර අමාත්‍යංශයට විතරක් පුළුවන් කමක් නැහැ. දැන් මම දැක්කා ජාතික පරිසර සතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්තුමා නිකුත් කරපු චක්‍රලේඛය සියලු රාජ්‍ය ආයතනවලට. මම දන්නෑ අමාත්‍යංශ කීයක් ඒ චක්‍රලේඛයේ තියෙන කරුණු ක්‍රියාත්මක කළාද කියලා. ඒකනිසා රටක් ගොඩ නගන්න, රටක ජනතාවගේ විශේෂයෙන් ම සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවෙන්න, අපි කථා කරන ප්‍රධාන වශයෙන් ම ගෝලීය උෂ්ණත්වය අවම කරන්න, වායු දූෂණය අවම කරන්න, වාතය පිරිසිදුව තබා ගන්න අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන.
සාමාන්‍යයෙන් තිබෙන ලෙඩ රෝග ගත්තහම මිනිස්සුන්ට ලෝකයේ ප්‍රධාන වශයෙන් පහුගිය අවුරුදු කිහිපයේ වාර්තා වුණේ බරපතළම තත්ත්වය ලෝකයේ තිබෙන දියවැඩියාව කියලා. නමුත් ඒ වාර්තාව දැන් කැඩිලා. ඒ වාර්තාව කැඩිලා අලුතෙන්ම වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන් ම වායු දූෂණය නිසා පෙනහලු රෝග තමයි ලෝකයේ ප්‍රබලවම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ අංක එකට. අපි ලස්සන සුන්දර රටක්.අපි මේ රට රැකගත්තොත් අපිට පුළුවන් හොඳ අරමුණු ඇතිව පරිසර සංරක්ෂණය ආරක්ෂා කරගෙන අපේ වැඩ කටයුතු කරන්න. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ කරුණු කාරණා ගැන අපි අවබෝධයකින් කටයුතු කරන්න ඕන. මේ පරිසර සතිය. දැන් මේ සතිය පාර්ලිමේන්තු සතිය. හවසට රූපවාහිනිය බලනවනේ ඔක්කොම. එක එක්කෙනාගේ කයිවාරු. නොයෙක් නොයෙක් කතන්දර අහගෙන ඉන්නවනේ. බැණ ගන්නවා, රණ්ඩු වෙනවා, විවේචනය වෙනවා. ඔය ජනතා පරමාධිපත්‍යයේ ඉහළින්ම තියෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ. මේ සතියම පාර්ලිමේන්තුව තියෙනවා. අනේ ජාතික පරිසර සතියක් තියෙනවා කියලා මේ විෂය ගැන කතාකරන එක මන්ත්‍රීවරයෙක් ගැන අහලා තියෙනවාද. වැඩක් නැති වල් පල් මිනිසුන්ගේ ඔලුව නරක් කරන දේවල්, රට අසමගි කරන දේවල්, දුක හිතෙන දේවල් සංවාද තමයි හවසට ටීවී එකේ පෙන්වන්නේ.
මම රාජ්‍ය ඇමතිතුමාත් එක්ක මේ ඉන්න ගමන් කිව්වා ජාත්‍යන්තර පරිසර දිනය ඊයේ. ජාතික පරිසර සතිය ඊයේ ඉඳලා සතියක්. ඊයෙයි අදත් පත්තර කීයක තිබුණාද පරිසර සංරක්ෂණය ගැන. පරිසර දිනය ගැන. මේවා තමයි අපි හිතන්න ඕනෑ. මේ පිළිබඳ මම කිව්වේ අප විසින් කළ යුතු ප්‍රායෝගික අපේ වගකීම කෙසේ කළ යුතු ද කියලා අවාධානය යොමු කරන්නයි.
මෑත කාලීනව සලකා බැලීමේදී ලෝකයේ ආර්ථික වෘද්ධි අනුපාතය ඉහළින්ම පෙන්නුම් කරන චීනය හා ඉන්දියාවේ වායූ දූෂණය කළමනාකරණයට අපොහොසත් වීම ලෝකය ඉදිරියේ ඔවුන් බලවත් දෝෂ දර්ශනයට ලක්වන කරුණක් වී තිබෙනවා.
චීනයට ගියහම ඕනකෙනෙකුට හිතෙන්නේ දිව්‍යලෝකයට ගියා කියලා. ඉන්දියාවත් මිසයිල් යවනවා. දක්ෂකම් හුඟාක් පෙන්නනවා. නමුත් මුළු ලෝකයට දෙගොල්ලටම බණිනවා උඹලා වායු දූෂණය කරලා මුළු ලෝකයම ලෙඩ කරනවා කියලා. දැන් මට ආරංචි වුණා ත්‍රිකුණාමලය පැත්තේ යකඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට අනුමැතිය ඉල්ලලා තියෙනවා කියලා. දැන් චීනයේ වායු දූෂණය නිසා චීනයේ බීජිංවලත් ඔක්ෂිජන් බෑග් එකක් අරගෙන තමයි යන්නේ. බීජිං වටේ තිබුණු විශාල කර්මාන්තශාලා ඉවත් කරන්න පටන් අරන් තියෙනවා. ඒ කර්මාන්තකරුවෝ ඒවා අරගෙන යනවා ලෝකයේ වෙන රටවල්වලට. දැන් අපිත් බලන්න ඕන අපිට එන ඔය යකඩ කර්මාන්තත් කොහෙ ඉඳලද එන්නේ කොහොමද එන්නේ මොනටද එන්නේ කියන කාරණාව බලන්න ඕන.
ඒ නිසා අපි ජාතික රුක් රෝපණ දිනය, ජාතික රුක් රෝපණ සතිය, ජාතික රුක් රෝපණ ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා. දැන් අපේ ගුවන් හමුදාව ඉතාම ලස්සන වැඩක් කරනවා මම ඒගොල්ලන්ට කිව්වා ඒක තව තවත් කාර්යක්ෂම කරන්න. දැන් මං ගිය සතියේ ගියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී මහත්වරු හම්බවුණා. මම ඒගොල්ලන්ටත් කිව්වේ ගුවන් හමුදාව කරන වැඩේට උදව් කරන්න. ගුවන් හමුදාව කරන්නේ බීජ වර්ග අරගෙන ඒ බීජ වටේ ලස්සනට පොහොර ටිකක් එක්ක පස් ටිකක් සහිත පොඩි බෝලයක් හදලා ඒ වගේ දහස් ගාණක්, ලක්ෂ ගාණක් උඩින් ගිහින් දානවා වනාන්තර මැද්දේ තියෙන ගස් නැති ප්‍රදේශවලට. ඊළඟට ගස් වැවෙන්න සුදුසුයි කියලා තියෙන ප්‍රදේශ රටේ තියෙනවා. එගොල්ලෝ කරනවා මේ අපේ රටේ ගුවන් යානා වලින් ගිහිල්ලා උඩින් අත අරිනවා ඒකට කියන්නේ ජෙට් එකෙන් පැළ හදනවයි කියලා. එතකොට උඩින් දාපුවහම ටික දවසක් ගිහිල්ලා ලස්සනට පැළේ වැවෙනවා. ඒක හරි පහසුයි වනාන්තර වැඩි කරන්න.
මහාචාර්යතුමාගේ දේශනයේ කිව්වා අපි දැනුම ගන්න හරි දක්ෂයි හැබැයි ඒ දැනුම ක්‍රියාත්මක කිරීම ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ලංකාවේ පරිසර අමාත්‍යංශයයි පරිසර අධිකාරියයි සෞඛ්‍ය අමාත්‍යංශයයි තරම් නිලධාරි මහත්වරු පිටරට යන්නේ නැහැ වෙන එකකවත්. යන්නේ දැනුම ගන්න. වැඩමුළු, සම්මන්ත්‍රණ, සාකච්ජා, සම්මේලන, ශිෂ්‍යත්ව කොච්චර නම් යනවද පරිසර අධිකාරියේ පරිසර අමාත්‍යංශේ කොච්චර යනවද ඒවා මගේ අත්සනට එන්නෙත් නෑනේ. මගේ අත්සනට එන්නේ ඇමතිවරයෙක් සහ අමාත්‍යංශ ලේකම් යනවනම් අනික් ඒවා ඔක්කොම අමාත්‍යංශ ලේකම් තමා අත්සන් කරන්නේ. නමුත් අපි දන්නවා කොච්චර යනවද කියලා අසීමිතයි. මේ දැනුම ගන්නනේ යන්නේ මහාචාර්යතුමා. හැබැයි අනේ මන්දන්නේ නෑ මොන අවාසනාවද ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ජා, ශිෂ්‍යත්ව ගිහිල්ලා එනවා. ඇවිල්ලා අර ඉඳගත්ත පුටුවේ ඉඳගෙන ආයි අර පරණ වැඩේම තමයි කරන්නේ. අර දැනුම නැහැ. ඒක කටුනායකින් තියලා ඇවිල්ලා.
මේ රටේලක්ෂ 16 ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඊළඟට මේ රටේ විශ්වවිද්‍යාල මේවා ඔක්කොම ගත්තම දැනුමෙන් පිරිච්ච අය. පාර්ලිමේන්තුවට එන අය වගේ නෙමේ රාජ්‍ය සේවයට එන අයගේ ඔක්කොම අධ්‍යාපන සහතික බලලා ආ මේකට හරිනම් මෙහෙම මේකට උපාධිය මේකට ආචාර්ය උපාධිය මේකට O/L මේකට A/L එහෙමනේ ගන්නේ. නමුත් ඒ දැනුම ඇත්තටම මීට වඩා රටට දෙන්න ඕන. මේ ජාත්‍යන්තර පරිසර දිනය ලෝක පරිසර දිනය මේ රටේ පරිසරවේදීන්, විද්‍යාඥයින්, විශේෂඥයින්, විද්වතුන් ඒ සියලු දෙනාගේම පරිසර අමාත්‍යංශය ඇතුළු විශ්වවිද්‍යාල ඇතුළු හැම ක්ෂේත්‍රයකින්ම හැම අංශයකින්ම මම ඉතාම කාරුණිකව කරන ඉල්ලීම තමයි මේ දැනුම මීට වඩා රටට දෙන්නයි කියන එක. මේ දැනුම මීට වඩා භාවිතා කරන්න කියන එක. මහාචාර්යතුමා කියපු දේ. මීට වඩා මේ දැනුම ප්‍රායෝගික කරන්න. රට ගොඩගන්න නම් ඒකයි අවශ්‍ය. මහා දැනුම සම්භාරයක් තිබෙන ලෝකයේ ඉතාම වාසනාවන්ත රටක් අපි. නමුත් දැනුම භාවිතයේදී ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳව මේ රටේ සංවර්ධනයට ප්‍රශ්නයක් තිබෙනවා. එහි ලොකු අඩුවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි අපේ වනාන්තර තිරසර කළමනාකරණයක් යටතට පත්කරනවායි කියලා කියන්නේ මේ සෑම දෙයක්ම සෑම කෙනෙකුගේම ජීවිතයත් එක්ක ප්‍රශ්නයක්. මේක තවත් කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ජීවත්වන මිලියන 21 ට ආසන්න සෑම පුද්ගලයෙකුගේම තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ගෙන් උපදින දරුවන්ගේ ප්‍රශ්නයක්.
ඒ නිසා මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි සෑම කෙනෙක්ම අපේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්න ඕන. අපි අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් වඩාත් දැනුවත් කළ යුතුයි. විශේෂයෙන්ම අපි ගුරුමහත්ම මහත්මීන්ට ස්තූතිවන්ත වෙනවා හුඟාක් පාසල්වල වැඩසටහන් කෙරෙනවා. පාසල් දරුවා තමයි සමාජයට පණිවිඩයක් ගෙනියන ඉතාම පිරිසිදු පණිවිඩකරුවා. ඔහුගේ සුන්දර, නැවුම් හඬට දෙමව්පියෝ වගේම සමාජය කන් දෙනවා. වැඩහිටියෝ වගේ මෝරලා කුරුවල් වෙලා පිළුණු වෙලා නැහැ. ඒ නිසා සමාජයට හොදම පණිවිඩකරුවා පාසල් දරුවා. ඒ නිසා තමා අධ්‍යාපන අමාත්‍යංශය හරහාත් අපි පරිසර අමාත්‍යංශයත් විශේෂයෙන්ම මේ රටේ පාසල් දරුවන්ට පරිසර සංරක්ෂණය ගැන වැඩි දැනුමක් දෙන්න ලොකු වැඩ කොටසක් කරන්නේ. ඒ නිසා මං මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.
ජාත්‍යන්තර පරිසර දිනයේදී අපේ අධිෂ්ඨානය විශේෂයෙන්ම අපි මේ රට සුන්දර රටක් විදියට අද තිබෙන තත්ත්වය තවත් ඉස්සරහට ගන්න රැකගන්න තියෙන දේ රැකගන්න වගේම තව වැඩි දෙයක් ලබාගන්න අපි සෑම කෙනෙක්ම කැපවෙමු ඒ පිළිබඳව සෑම කෙනෙකුටම තිබෙන වගකීම් සහ යුතුකම් ඉටුකරමු ඔබටත් මටත් ඒ වාසනාවන්ත සුන්දර රටේ හෙට දවස වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් අපි ඉටුකරමු.
ඔබ සියලුදෙනාටම ස්තූතියි තෙරුවන් සරණයි.