ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය නිම කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඊයේ හවස ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මාලදිවයිනේ නිල සංචාරයක නියුතු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව  ඊයේ (9) පෙරවරුවේ ශ්‍රී ලංකාවට සැපත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත උත්තමාචාර ලබාදෙමින් මහත් හරසරින් පිළිගැනීම දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා  සහ  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ  ද්විපාර්ශවික සාකච්ඡවක් ද පැවැත්විණි.

සංචාරය සනිටුහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිර පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරීමට ද එක් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයට ලක්  වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද අමතක කළේ නැත.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය  නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි. දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු  ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිටත්ව යෑමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

pm pm

pmdepa