ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර මෙම අගෝස්තු 31 වන දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.


එම අසපුවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (10) පස්වරුවේ නිරත වූ ජනාධිපතිතුමා එහිදී අදාළ නිලධාරින්ට මෙම උපදෙස් ලබා දුන්නේය.
පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටිය දී කරන ලද ඉල්ලීමක් අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදුන් පොරොන්දුව අනුව 2017 වසරේ අගෝස්තු 28 වන දා මෙහි ඉදිකිරීම් ඇරඹිණි.
බත්තරමුල්ල, අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමි භාගයක මෙම සංගීත අසපුව ඉදිකෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200කි. පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, සම්මන්ත්‍රණශාලාවක් සහ ශබ්දාගාරයකින් මෙන්ම එළිමහන් රඟහලකින් ද මෙය සමන්විතය.
සමස්ත රටවාසින්ගේ ම ගෞවරය හා ආදරය දිනාගනිමින් ජාතියේ මහා ගාන්ධර්ව ලෙස පිදුම් ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සිහි ගන්වමින් එතුමාගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් අමරදේව අසපුව ඉදි කෙරේ.
ජනාධිපතිතුමා එම ඉදිකිරීම් නිරික්ෂණය කළ අවස්ථාවට මහාචාර්ය සුනිල් ආරියරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, විමලා අමරදේව, රංජන් අමරදේව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 01

02

04