ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා මෙරටට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ටොෂිකෝ අබේ (Ms. Toshiko Abe) මහත්මිය ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.


ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සමබන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු වී තිබීම ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට කාන්දු වීම වළක්වාලීම සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
අගමැති වික්‍රමසිංහ මහතා සහ අබේ මහත්මිය අතර ද්විපාර්ශ¬්වික සාකච්ඡා ඊයේ (12) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති අතර, එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බවය. ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රති ත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා, ටෙට්සුඕ කිටාඩා යන පිරිසක් සහභාගී වූහ.