විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම පිළිබඳ නායකයන්ගේ අවධානය 

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ කි‍්‍රයාවලියේ දී ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ තජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් (Emomali Rahmon)   මැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.

ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට තජිකිස්ථානයට ගිය ජනාධිපතිතුමා සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස තජිකිස්ථාන ජනාධිපතිවරයා සමඟ හමුවකට එක් විය.

දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා තජිකිස්ථාන ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට දෙරටම කැපව සිටින බැවින් විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයෝ සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සාකච්ඡා වූහ.

2016 වසරේ දී තජිකිස්ථාන ජනාධිපති එමොමොලි රාමොන් මහතා මෙරට සිදු කළ සංචාරය පිළිබඳව ද ගෞරවයෙන් සිහිපත් කෙරුණු අතර එම සංචාරයේ දී තමා වෙත දැක්වූ ආගන්තුක සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ ටජිකිස්ථාන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව සහ තජිකිස්ථානය අතර පවතින මිත‍්‍රත්වය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය සමඟ වඩා තහවුරු වන බවත් ඉදිරියේ දී දෙරට අතර වඩා සමීප සබඳතාවයක් ගොඩනැගෙනු ඇති බවත් කියා සිටියේය.

මේ අතර ජනාධිපතිතුමා අද පෙරවරුවේ තජිකිස්ථාන ජාතික කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. කෞතුකාගාරය කුඩා හා විශාල ප‍්‍රදර්ශන ශාලා රැසකින් සමන්විත වන අතර එය සොබාදහම, පෞරාණිකත්වය, මධ්‍යතන යුගය, නවීන හා සමකාලීන ඉතිහාසය සහ ලලිත හා ව්‍යවහාරික කලාවන් ප‍්‍රදර්ශනය කරයි. කෞතුකාගරයේ ආකෘතිය ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි තැන්පත් කර ඇති වසර දහස් ගණනක් ඉපැරණි සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුව ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයකට ලක් විය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ දුෂාන්බේ නගරයේ පිහිටි Nurek ජල විදුලි බලාගාරය වෙතයි. Nurek ජල විදුලි බලාගාරය තජිකිස්ථානයේ ප‍්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන අතර අධික ශිත කාලයේ විශාල වශයෙන් පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට පමණක් නොව ගිම්හාන කාලයේ අතිරික්ත බලශක්තිය අපනයනය කිරීමට ටජිකිස්ථානයට හැකියාව ලැබී තිබේ. විදුලි බලාගාරයේ ඉදිකිරීම් සම්පූර්ණ වීමෙන් අනතුරුව ටජිකිස්ථානයේ විදේශීය ඉපැයුම් අතරේ විදුලිබල අපනයනය ප‍්‍රධාන තැනක් ගනු ඇත.

විදුලි බලාගාරයේ කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ද ජනාධිපතිතුමා වෙත සිදු කෙරිණි.

විදුලි බලාගාර පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ තජිකිස්ථාන පළමු උප අගමැති ඩව්ලටලි (Davlatali) විසින් වන අතර එහි දී ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් අලංකාරවත් උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද එම පරිශ‍්‍රයේ දී ජනාධිපතිතුමා සහ උප අගමැතිවරයා එක් විය.