ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (15) පෙරවරුවේ ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත්‍රණ ශාලවේ දී මුළු දුන් ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අමතමිනි.

චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි යන මහත්වරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව අභිමානවත්ව ආරම්භ කෙරිණි.

සමුළුව ඇමතූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආසියානු රාජ්‍ය නායකයන් ඉදිරියේ වැඩිදුරටත් අවධාරණය කළේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේ දී ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බවයි.

අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද වේදනාවෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රජයටත්, ආරක්ෂක හමුදාවටත් තිබෙන බවයි. එමෙන්ම මෙවන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට කිසිදු රටක් ගොදුරු නොවිය යුතු අතර කලාපය තුළ සාමය සහ ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීමට සියලුදෙනා සාමූහිකව කැප විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. සියලු රටවල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා වැදගත් වන අතර කිසිඳු රටක නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ තර්ජන හෝ බලපෑම් කිසිවිටෙකත් සිදු නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව හෙවත් CICA සාමාජික රටවල ආර්ථික ශක්තිය ගොඩනැංවීමේ දී එම රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතු අතර, තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙනවා දුන්නේය. ආසියාකරය තුළ සාමය සහ සමෘද්ධිය ශක්තිමත් කරමින් ඉදිරි සියවසේ දී දුගී භාවයෙන් තොර ආසියාවක් ගොඩනැගීමට CICA සාමාජික රටවල් එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.

ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට තිබෙන අතර එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගන්නා ලදී. ඒ මෙම සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා නව සාමාජික රාජ්‍යයන් විසින් අත්සන් තැබිය යුතු අනිවාර්ය ලේඛන ද්විත්වය වන සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධතා මෙහෙයවන ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ‘අල්මාට් කතිකාව’ ට අගෝස්තු 15 වැනි දින චීනයේ බීජිං නුවර දී අත්සන් තැබීමෙන් අනතුරුවය.

චීනය, රුසියාව, ඉරානය, ඉරාකය, තුර්කිය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, ඊජිප්තුව, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පලස්තීනය, කටාරය, ටජිකිස්ථානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා වියට්නාමය යන රටවල් මෙහි සාමාජිකත්වය දරති. එම සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට මෙම සමුළුව ඉතා වැදගත්වන අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමා සමුළුව තුළදී විශේෂ අවධානයක් යොමු කර තිබිණි.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-06-15 ටජිකිස්ථානයේ, දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාව)

ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

මෙම සමුළුවේ සභාපතිත්වය දරන ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මැතිතුමනි,

සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි,

සියලුම ආරාධිත අමුත්තනි, හිතවතුනි, මිත්‍රවරුනි,

CICA සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල සාමාජිකත්වය දරන CICA අනාගත ලෝකයට මුහුණදීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙසයි අපි කවුරුත් සලකන්නේ. ඒ නිසා අප CICA සමුළුව තුළින් යහපත් ලෝකයක් දිනා ගැනීමට සහ සාමයට කැපවිය යුතු වෙනවා.

සාමයට කැපවීමේ දී අප සියලුදෙනා තුළ තිබිය යුතු සමගිය සහ සහෝදරත්වය ඉතා බලවත්. පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මම මෙහිදී ඉතා වේදනාසහගතව සිහිපත් කරනවා. එම ත්‍රස්ත ප්‍රහාරය සමග ශ්‍රී ලංකාව තවමත් කටයුතු කරන්නේ එම අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහායි. ශ්‍රී ලංකා රජයටත්, අපගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිව තිබෙනවා.

CICA සාමාජික රටවල් ලෙස මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දෙන්න එපා කියලා මම මෙහිදී ඉල්ලා සිටිනවා. ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස සාමයත් ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. මේ සියලුදේට අවශ්‍ය වන්නේ අධි තාක්ෂණය තුළ සාමය ගොඩනැඟීමයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට CICA කැපවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

මානව හිමිකම් කඩවන රටවල තිබෙන ස්වාධීනත්වයට හානිකරන්න එපා කියා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. සෑම රටකම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්. රටවල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම හෝ රටවලට තර්ජන සහ බලපෑම් කිරීම කිසිවිටෙකත් සිදු නොවිය යුතුයි. CICA සාමාජික රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතුයි. තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින අප තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා ඔබ සියලුදෙනාගෙන්ම මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමගිය ශක්තිය පෙරදැරිව CICA සමුළුව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි.

CICA සමුළුව ප්‍රධාන වශයෙන් අනාගත අභියෝග හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඒ තුළ අපට ඉදිරියට යාම වඩාත් පහසුයි. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ සමගිය. ඒ වගේම සාමය. සාමය තුළ තිරිසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට පුළුවන්. මෙහිදී කලාපීය සාමය ඉතාමත් වැදගත්. කලාපීය සමගිය ශක්තිමත් කිරීමට CICA අරමුණු ඉතා වැදගත් වේ යැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම සාමය වැදගත් වෙනවා දුගී භාවය තුරන් කිරීමට. සාමය දුගී භාවය තුරන් කිරීමට වැදගත් වගේම දුගී භාවය අවම කිරීමට ත්‍රස්තවාදය අවසන් කළයුතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් CICA අරමුණුවලදී සාමය සහ සමගිය ඉතා වැදගත්, ආර්ථික අරමුණු ශක්තිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. අනාගත සියවසේ දී ආසියාව සම්පූර්ණයෙන් දුගී බවෙන් තොර ආසියාවක් කර ගැනීමට අප සම්පූර්ණයෙන් කැපවිය යුතු වෙනවා. එම අරමුණු ඉටුකර ගැනීමට ඔබ අප සියලුදෙනා එක්ව කැපවෙමු යැයි මම සියලුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා.

summit

samuluwa

group