රට පුරා කිසිදුභේදයකින් තොරව පොසොන් උත්සවය සැමරීමට එක් වූ සියලු දෙනාටම ස්තුතිය පුද කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඇසල පෙරහර වෙනදාටත් වඩා උත්කර්ෂවත් සහ අභිමානවත් අන්දමින් පැවැත්විය යුතු බව අවධාරණය කරයි.


මේ සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමඟත්, දියවඩන නිලමේතුමා සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කරන අගමැති වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණක් හෙයින් ඒ උදාර අරමුණ වෙනුවෙන් සැවොම අත්වැල් බැඳ ගනිමු යැයි ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි.
එම නිවේදනය මෙසේය.
ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සමග කළ සාකච්ඡා වාර කීපයකින් පසු මම පසුගිය ජූනි 05 වැනි දා ඔබ සැමගෙන් ඉල්ලා සිටියේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පෙර සිරිත් අනුව ඉතා ඉහළින් පොසොන් උත්සවය සමරන ලෙසයි.
ඒ අනුවම යමින් අපට පොසොන් උත්සවය ඉතා ඉහළින් සමරන්නට පුළුවන් වුණා. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන් ද රට පුරා පැවැත්වුණි. වෙනදා පොසොන් උත්සවයට මුල් තැනක් නොදෙන ප්‍රදේශවලත් මෙවර පොසොන් දිනය ඉතා උත්කර්ශවත් ලෙස සමරන අයුරු අප නිරීක්‍ෂණය කළෙමු.
මෙවර පොසොන් උත්සවය සාර්ථක හා ඉහළ මට්ටමින් සැමරීමට සම්මාදම් වූ සියළු දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරමු. මේ සම්බන්ධව අපේ මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වයට අපගේ ගෞරව නමස්කාරය පුද කර සිටිමු. එසේම රජයේ මැති ඇමැතිවරු, නිලධාරීන්, ආරක්‍ෂක අංශ, විදුහල්පතිවරු සහ පාසල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන ආදියත් ලබා දුන් සහයෝගය අගය කරමු. විශේෂයෙන්ම රට පුරා ජනතාව කිසිඳු භේදයකින් තොරව පොසොන් සැමරීමට එක් වූහ. ඔවුන් දැක්වූ භක්තිය සහ උද්‍යෝගය නිසා අපේ රට පිළිබඳව යහපත් චිත්‍රයක් ලෝකයටම දැක ගන්නට ලැබිණි. මේ සියළු දෙනාට ද අපගේ ස්තුතිය පළ කර සිටිමු.
ඊළඟට උදාවනුයේ ඇසළ පෙරහර සමයයි. පෙරහර උත්සවය අපි වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතුය. ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේතුමා සමඟත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙමි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණය. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.