පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙයි.

ජාතික ආරක්ෂක කමිටුව 19 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනයට ලක් කෙරිණි.

ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පක්ෂ, විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, බුද්ධි අංශ ප්‍රධානින්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මීට එක්ව සිටියහ.