ගමේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ජනතා සේවයට ඇපකැපවීමට “මහජන සේවා කළමනාකරණ අධිකාරිය” නමින් අධිකාරියක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.


ජනතාවට සේවය කිරීම සඳහා මෙම ශක්තිමත් බලසම්පන්න අධිකාරිය පිහිටුවීම අගමැතිවරයාගේ බලාපොරොත්තුව බව පැවසූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා අමාත්‍යාංශ නිලධාරින් ගමට ගොසින් දැවෙන ප්‍රශ්න විසඳීම මේ තුළින් සිදුවන බව අවධාරණය කළේය. ඕනෑම අභියෝගයකට ආණ්ඩුව මුණදෙන බව සඳහන් කළ ඇමැතිවරයා ජනතා සේවය උදෙසා ක්‍රියා කිරීම අරමුණ බවත් සඳහන් කළේය. ගමේ ප්‍රශ්න විසඳීමට අගමැතිතුමා ඇතිකිරීමට යන මෙම අධිකාරිය විශාල පිටිවහලක් බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඇමැති වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද සහභාගි වුණි.