මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ සමාජය පුලුල් ලෙස දැනුවත් කරමින් මෙම සමාජ උවදුරෙන් අපගේ ජනතාව විශේෂයෙන් අපගේ තරුණ ප්‍රජාව මුදවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.


ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ(23) මේ බව ප්‍රකාශ කළේ ය.

මතින් නිදහස් ශ්‍රී ලංකාවක් යන වැඩසටහන යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම හා නායකත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ ප්‍රධාන කරුණු 3 ක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
එකක් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී නීතියට කොටු වී දඩුවම් ලබමින් සිටින පිරිස පුනරුත්ථාපනය. මේ පිරිස කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් දිවයින පුරා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. දැනට 11,000 කට ආසන්න පිරිසක් නීතියට කොටුවී දඩුවම් විඳිනවා. ඒ අය පුනරුත්ථාපනය කිරීම විශේෂ වගකීමක් ලෙස සලකා ක්‍රියා කරනවා.

එමෙන්ම, නීතියට හසු නොවුණු මත්ද්‍රව්‍ය භාවිතා කරන විශාල පිරිසක් සමාජය තුළ ජීවත් වෙනවා. ගණන් හදා ඇති ලෙසට ලක්ෂයකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී පීඩා විඳිනවා. මේ පිරිස පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජයට එක් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි. එය හුදෙක්ම රජයට පමණක් ක්‍රියාත්මක කළ නොහැකි අතර ඊට සියලු ප්‍රජාවගේ උපකාරය අවශ්‍යයි. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වය ලබාගැනීමට අපේක්ෂිතයි.

එසේම, මත්ද්‍රව්‍ය භාවිතයට අපේ දරුවන් යොමුනොවීම වගබලා ගැනීමත් ඉතා වැදගත්. ඒ නිසා තරුණ පරපුරට මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳ කියා දෙමින් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් අවශ්‍යයි. මේ කාරණා තුන ඔස්සේ පුලුල් සමාජ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

විශේෂයෙන්ම 2019 ජුනි 26 දිනට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ජුනි 24 සිට ජුලි මස 01 දා තෙක් වූ මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර ශ්‍රී ලංකාවේ විවිධ වැඩසටහන් ක්‍රියාත්ම කිරීමට සැලසුම් කර තිබෙනවා.

විශේෂයෙන් පාසල් දරුවන් පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයද ඇතිව සමස්ත පාසල් පද්ධතිය පුරාම ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. එමෙන්ම විශ්ව විද්‍යාල, කාර්මික අධ්‍යාපන ආයතන ඇතුලු උසස් අධ්‍යාපන ආයතන පදනම් කරගෙන එම දරුවන්ද මත්ද්‍රව්‍ය වල ආදීනව පිළිබඳ දැනුවත් කිරීම මගින් ඔවුන් මත්ද්‍රව්‍යවලින් වළක්වා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
එමෙන්ම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවකයන්ද මේ පිළිබඳ දැනුවත් කරමින් වැඩකරන ජනතාවද මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, ග්‍රාමීය ප්‍රජාමූල සංවිධානද සම්බන්ධ කරගනිමින් සමස්ත ජනතාවද මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව, ඉදිරි දින 08 තුළ ආණ්ඩුකාරවරුන්ගේද ප්‍රධානත්වයෙන් පළාත් නවයම සම්බන්ධ කරගනිමින් රටපුරාම දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි අවසාන වැඩසටහන ලෙස ජුලි මස 01වන දා සුගතදාස ක්‍රීඩාංගනයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පන්දහසක් පමණ ජනතාව සහභාගි කරගනිමින් මත්ද්‍රව්‍ය ආදීනව වටහා දෙන ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කරතිබෙනවා.

ඒ වගේම ජනතාව තුළ උද්‍යෝගය ඇති කිරීමට පා ගමන්, වීදි නාට්‍ය ආදී විවිධ ක්‍රම ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම කාලය තුළ ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම, පොලීසිය ඇතුලු ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් මෙම කාලය තුළ ක්‍රියාත්ම කිරීමට කටයුතු සූදානම් කරතිබෙනවා. විශේෂයෙන් මුහුදු හා ගුවන් මගින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම වළක්වා ගැනීම සඳහාත් මත්ද්‍රව්‍ය වෙළඳාම අධෛර්යය කිරීම සඳහාත් මෙම වැටලීම් ක්‍රියාත්මක කරනවා.

අද ශ්‍රී ලංකාවේ බලවත් සමාජ උවදුරක් ලෙස පැතිරී ඇති මත්ද්‍රව්‍ය උවදුර මෙම රටින් පළවා හැර ලංකාව මත්ද්‍රව්‍ය උවදුරින් තොර සාමකාමී රටක් බවට පත්කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙම කාලය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අදහස් කරන්නේ නෑ මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මෙම සතිය තුළ අවසාන වන බවක්. එළඹෙන සතිය තුළ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ සමාජය පුලුල් ලෙස දැනුවත් කරමින් මෙම සමාජ උවදුරෙන් අපගේ ජනතාව විශේෂයෙන් අපගේ තරුණ ප්‍රජාව මුදවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප සියලුම ප්‍රජාවට අත්වැල් බැඳ ගනිමින් අපගේ දරු පරපුර මෙම සමාජ උවදුරින් මුදවා ගැනීමට එක්වන ලෙස ආරාධනා කර සිටිනවා.

වීඩියෝව නැරඹීමට  පිවිසෙන්නn- https://www.youtube.com/watch?v=AqCp5c2uOgg