මෙම මස 26 වැනි දා ට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි 23 සිට ලබන 01 වැනිදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.


ඒ අනුව එම සතියේ පළමු දිනය පාසල් දිනය ලෙස නම් කර ඇති අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන් දුම්වැටි, මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ප්‍රධාන පාසල් උත්සවය කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ දී පැවැත්වුණි.
මේ අතර මීට සමගාමීව දිවයින පුරා පාසල්වල මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
එමෙන් ම වැල්ලම්පිටිය සිංහපුර ග්‍රාමයේ ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා හරිමින් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ගම්වාසීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.
පූජ්‍ය ඉඩමේගම පියනන්ද හිමි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ, එහි අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් යන මහත්වරුන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකා නිලධාරීන් මෙකී වැඩසටහන් සඳහා මූලිකත්වය ගනු ලැබීය.
මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ද මතින් තොර වන බවට වූ ප්‍රතිඥාවක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවිණි.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හා නීති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා වැටලීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සහ නිවාරණය යන ප්‍රධාන ක්‍රමවේදයන් ඔස්සේ දිවයින ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනය වන හෙට දින ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂිත වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජුලි මස 01 වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.