ප‍්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව


මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබේ.
එහි දෙවන දිනය වන අද ප‍්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබූ අතර එම වැඩසටහන් සඳහා රාජ්‍ය සේවකයින්, පාසල් දරුවන් මෙන් ම පොදු ජනතාවගේ ද පුළුල් සහභාගිත්වයක් දක්නට ලැබිණි.
ප‍්‍රධාන වැඩසටහන කිලිනොච්චිය සමූපකාර ශාලාවේ දී පැවැත්වුණු අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් ඇතුළු අංග රැසකින් එය සමන්විත විය.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව දිස්ති‍්‍රක්වලට සිට රථ පෙළපාලිවලින් පැමිණි පිරිස මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් විය.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු එම අවස්ථාවට එක්ව සිටියහ.
“මම මත්ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කරමි” තේමාව යටතේ දැවැන්ත රථ පෙළපාලියක් අද උදෑසන වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය අසළින් ආරම්භ කර කිිලිනොච්චිය සමූපකාර ශාලාව වෙත පැමිණි අතර ඉන් අනතුරුව එහි පැමිණි පිරිස දැනුවත් කිරීමේ වැඩසටහනට එක් විය.
මේ අතර වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය අසළින් ද මත්ද්‍රව්‍ය විරෝධි රථ පෙළපාළියක් අද උදෑසන ආරම්භ කෙරුණු අතර වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව එය සංවිධානය කර තිබිණි.
මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හා එයින් සිදුවන පුද්ගල මෙන්ම සමාජ හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පොස්ටර්, කටවුට් ප‍්‍රදර්ශනය කරමින් ගමන් ගත් රථ පෙළපාළිය කිලිනොචිචිය සමූපකාර ශාලාව වෙත පැමිණියේය.
ඌව පළාත් සභාව විසින් සංවිධානය කර තිබූ විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ඌව පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඌව පළාත් ආණ්ඩුකාර ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ඊට එක්ව සිටියහ.
මේ අතර පාසල් ප‍්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද අත්තනගල්ල, රන්පොකුණගම මහා විද්‍යාලයේ දී පැවැත්වුණු අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය සංවිධානය කර තිබිණි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවන දිනය වන හෙට රාජ්‍ය ආයතන සඳහා වූ විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබේ.