පාස්කු ඉරිදා සිදු වුණු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින යම් රෝගියකුට මෙරටදී ප්‍රතිකාර කළ නොහැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළ හොත් අදාළ රෝගියා විදේශ රටක රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට වගකීම භාරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


බෝම්බ ප්‍රහාරයෙන් සිදු වී තිබෙන හානි පිළිබඳ සියලුම තොරතුරු ලබාගැනීම හානි පූර්ණ කාර්යාල මඟින් සිදු කිරීමට පියවර ගන්නා බව පැවසූ අගමැතිවරයා අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක් පවතිඅන බවත් මේ දරුවන් සම්බන්ධයෙන් දේවස්ථාන නියෝජිතයින් සමඟ එක් වී ක්‍රියා කරන බවත් සඳහන් කෙළේය.
මිය ගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් වඩාත්ම ඵලදායි වන්දියක් ලබාදීමට ක්‍රියා කළ බවත් පෙන්වා දුන් අගමැතිවරයා මේ වන විට මූලික ගෙවීම් ලෙස රුපියල් මිලියන දෙසිය පනහක් ලබාදී තිබෙන බවද අවධාරණය කෙළේය. පළමු පියවර යටතේ මෙවන් මුදල් ප්‍රමාණයක් ලබාදුන් බවත් ප්‍රකාශ කළ අගමැතිවරයා විනාශ වූ දේවස්ථාන ගොඩනැඟීමට තවත් අවශ්‍ය මුදල් ලබාදෙන බවත් පැවැසීය.
මද්‍රසා අධ්‍යාපන නීති අවශ්‍ය බව මුස්ලිම් උදවියට පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් පිටරටින් ගෙනඒමට ක්‍රියා කරන බවත් අගමැතිවරයා සඳහන් කෙළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංක්‍රාන්තික යුක්ති පුහුණුකරුවන් විසිරයාමේ උත්සවය ඊයේ (25) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේ ඊයේ එක්වෙමිනි.
මෙම උත්සව අවස්ථාවට කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහත්වරු සහභාගී වූහ.