සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය විසින් පසුගිය වසර හතරහමාර තුළදි රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් වැය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේසා විශාල මුදල් ප්‍රමාණයක් බුදු සසුන වෙනුවෙන් වෙනත් කිසිම ආණ්ඩුවක් වැය කර නැති බව පැවසු අගමැතිවරයා, ඊයේ ආරම්භ කළ බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය මහා සංඝරත්නය උදෙසා ප්‍රථමයෙන් ක්‍රියාත්මක කළද සෙසු ආගමික පූජකවරුන් සඳහාද මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටත් අවධාරණය කළේය.
අපේ රටේ මහා සංඝරත්නය සහ බුදු ශාසනයේ ආරක්ෂාව සඳහා බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කළ බව සඳහන් කළ අගමැතිවරයා, මෙම වැඩසටහන යටතේ සසුනට තම දරුවන් පූජා කළ දෙමව්පියන් වෙනුවෙන් බුදුපුත් මව්පිය සුරක්ෂා වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ප්‍රකාශ කළේය. විහාරස්ථාන දියුණු කරමින් පවත්වාගෙන යාම සඳහාත් අවශ්‍ය ආධාර සපයන බවත් මෙහිදී දුෂ්කර ගම්මානවල පවතින විහාරස්ථාන කෙරෙහි වැඩි අවධානය යොමු කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා සංඝරත්නය වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය නමින් රක්ෂණයක් ආරම්භ කරමින් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී එහි සමාරම්භක රාජ්‍ය මහෝත්සවය ආරම්භයේදීය. සමස්ත මහා සංඝරත්නයම මෙම රක්ෂණාවරණයට යටත් වන අතර සෑම ස්වාමින්වහන්සේ නමකටම මෙහි සාමාජිකත්වය හිමිවෙයි.
මේ සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අරමුදල රුපියල් මිලියන අනූවක් යොදවා තිබේ. මෙම රක්ෂණාවරණය සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ජාතික ඉතිරි කිරී‍ෙම් බැංකුවේ සභාපති ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා ඊයේ අගමැතිතුමා වෙත ලබාදුන්නේය. ඕනෑම අයකුට මෙම අරමුදලට දායකවීමට අවස්ථාව සලසා දී තිබේ.
බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ ස්වාමින් වහන්සේ නමකට හදවත් සැත්කමකට රුපියල් ලක්ෂ දහයක්, පිළිකා රෝග සඳහා රුපියල් ලක්ෂ හයක්, වකුගඩු බද්ධ කිරීම් සඳහා ලක්ෂ දොළහක්, මොළයේ ශල්‍යකර්ම සඳහා ලක්ෂ දොළහක්, දණහිස් බද්ධ කිරීමට රුපියල් දෙලක්ෂ පනස්දහසක්, උකුල් ඇට බද්ධ කිරීම සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක්, ශ්‍රවණ උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක්, ඇස් කණ්ණාඩි සඳහා රුපියල් පන්දහසක් ලැබෙයි.
පෞද්ගලික රෝහලක රෝහල්ගතවීමකදී එක් සිදුවීමකට උපරිමය රුපියල් දෙලක්ෂයකට යටත්ව වාර්ෂික හිමිකම් වටිනාකම රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට යටත් වෙයි.
පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා වාර්ෂිකව රුපියල් දෙලක්ෂයක ආවරණයකි. අදාළ ආයුර්වේද රෝහල දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබිය යුතුයි.
රජයේ රෝහලක ‍රෝහල්ගතවීමකදී නේවාසික ගාස්තු සඳහා රුපියල් තුන්ලක්ෂයක වාර්ෂික රක්ෂණාවරණයකි.
‍ෙත්‍රෙනිකායික මහානායක සහ අනුනායක හිමිවරුන් දහසය නමකට මෙහිදී සංකේතාත්මකව බුදුපුත් රක්ෂණාවරණය පිරිනැමීම අගමැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් අතින් සිදුවුණි. මෙම අවස්ථාවට දෙදහසක් පමණ මහා සංඝරත්නය සතර දිග්භාගය නියෝජනය කරමින් වැඩම කළහ. උන්වහන්සේලා සැමටම රක්ෂණාවරණය හිමිවුණි.
මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, බුද්ධ ශාන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත්වරු ඇතුළුව මැති ඇමැතිවරු සහභාගි වූහ.