පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට කලින් නිමකොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අගමැති ඒ අදහස් පළ කළේ පෙරේදා (29) උදෑසන මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.
යුද හමුදාව සිදුකරන ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රගතිය පිළිබඳව විමසා බැලූ වික්‍රමසිංහ මහතා කඩිනමින් හා කාර්යක්ෂමව එම කාර්යයන් සිදුකරන හමුදා නිලධාරින් හා සෙබළුන් වෙත සිය ප්‍රසාදය ද පළ කළේය.
ප්‍රහාරයෙන් අනතුරට පත් පුද්ගලයන්ගේ ශාරීරික හා මානසික හානි සුවපත් කරලීම සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අගමැතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙළේය.
දේවස්ථාන පූජක රොෂාන් ‍මහේෂ් මනෝෂන් දේවගැතිතුමන් පැවසූයේ මේ අවස්ථාවේ අගමැතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව දක්වන සහයෝගය හා ලබාදෙන ශක්තිය පිළිබඳව තමන් සිය බලවත් කෘතඥතාව පළ කර සිටින බවය. සිද්ධිය වූ අවස්ථාවේ පටන්ම අගමැතිතුමන් මේ පිළිබඳව විමසා බලමින් ගොඩනැගිලි හා ජීවිත යළි යථා තත්ත්වයට පත්කරලීමේ ක්‍රියාවලිය සඳහා ලබාදුන් නායකත්වය මුළු මහත් ප්‍රජාවගේම ගෞරවයට හේතුවී ඇති බවද මනෝෂන් දේවගැතිතුමා පැවැසීය.
ඉන් අනතුරුව අගමැතිවරයා මඩකලපුවේ කතෝලික හා ඇන්ග්ලිකන් දේවස්ථාන වෙත ද ගොස් භාරකාර පියතුමන්ලා හමුවී සාකච්ඡා පැවැත්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මෙම සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු නත්තලට පෙර අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් දැනුම් දී තිබෙනවා. මෙම දේවස්ථානයට අයත් තුවාල ලැබූ අය ගැන සහ එම පවුල් පිළිබඳ සොයා බැලීමට මම පැමිණියා. අපේ පූජකතුමන් ඒ ගැන දැනටමත් වාර්තාවක් දී තිබෙනවා. දැනට ආණ්ඩුවෙන් සිදුවිය යුතු වැඩ කොටසක් සිදුවී තිබෙනවා.
විශේෂයෙන් මෙම පල්ලිය සඳහා ආණ්ඩුවේ ආයතන නිලධාරින්ගෙන් ප්‍රශ්නයක් වෙනවා නම් මම දැන් කොළඹට ගොස් අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කරනවා. අපි අරගෙන තිබෙන සම්පූර්ණ පියවර පියතුමන්ට දැනුම් දුන්නා.
දැනට මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයට වන්දි මුදල්වල පළමු වන වටය අපි ගෙවා තිබෙනවා. මේ අනුව මියගිය පුද්ගලයන් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185 ක වන්දි මුදලක් ගෙවා තිබෙනවා. ඒ වෙනස පොඩ්ඩක් තිබෙන්නේ සමහර අය විදේශිකයින් නිසා. හඳුනාගෙන නැති පුද්ගලයිනුත් සිටිනවා. තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලක් මේ වනවිට ගෙවා තිබෙනවා.
මීට අමතරව වන්දි ගෙවීමට උවමනා නම් එය ගෙවීමටත් අපි ලෑස්තියි. ඒ ඒ පුද්ගලයා දිහා බලා ඒ තීරණය ගැනීම ස්වාධීන ආයතනයක් වන හානි පූර්ණ කාර්යාලයට භාරදී තිබෙනවා. මීට වැඩිපුර වන්දි ගෙවිය යුතු කවුද කියා සොයා ඒ අයට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය අපිට දැනුම් දුන්න පසු රජයෙන් එම මුදල් ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා.
දැනට රෝහල් ගත වී සිටින පුද්ගලයින්ට විදේශ ප්‍රතිකාර උවමනා බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දෙනවා නම් ඒ පිළිබඳවත් අපි ක්‍රියා කිරීමට ලෑස්තියි.
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මාපියන් නැතිව අසරණ තත්ත්වයට පත්වී සිටින ළමුන් 33 දෙනෙකු රැක බලා ගැනීමට සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා භාර අරමුදලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් වන්දි ගෙවීමට ක්‍රියා කරගෙන යනවා. ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන අපි පළමුවෙන්ම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම පසුව ඇතිවුණු කලබලවලින් හානියට පත් දේපොළ හා නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමටත් පියවර ගන්නවා.

siyon1

siyon